දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Aug 17, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

ගඟක් හරහා එගොඩ මෙගොඩ යන්න ඕන ගමක් තිබුණා. මේ ගමේ මිනිස්සුන්ට තිබිච්ච ලොකුම ගැටලුවක් තමයි, පාළම ගොඩක්ම අබලන් වෙලා තිබුණ එක. ඉතින් මේ පාලම ඉක්මනින්ම හදාගන්න ඕනේ කියලා ගමේ මිනිස්සු හැමෝම කල්පනා කළා. මොකද මේක පාවිච්චි කරන එක ගම් වැසියන්ට  අවදානමක් වෙලා තිබුනේ…

මේ ගමේ හිටියේ ගොඩක් දුප්පත් මිනිස්සු. හැබැයි කොහොම හරි මිනිස්සු සල්ලි එකතු කරලා මේ පාලම හදන වැඩේ ආයතනයකට භාර දුන්නා.

ඉතින් මේ ආයතනයෙන් පාලම හදන්න එව්වේ, වසරේ දක්ෂතම ඉංජිනේරුවරයා  විදිහට සම්මාන ගත්ත, තවත් බොහෝ ක්ශේත්‍රවල දක්ෂකම් දක්වන, දක්ෂම  ඉන්ජිනේරු වරයෙක්ව…

මේ පාලම හදන්න කලින්, මේ වටපිටාව පරික්ෂා කරන්න ඕන කියලා මේ ඉංජිනේරුවරයා කිව්ව නිසා, ගමේ හිටපු ධීවරයෙක් ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වුණා මේ පාලම සහ අවට වටපිටාව මේ ඉංජිනේරුවරයාට පෙන්නන්න…….

දවසක් ඉංජිනේරුවරයා ධීවරයාත් එක්ක ඇවිදින්න පටන් ගත්තා. ගංගාව අවට වටපිටාව බලන ගමන් මේ දෙන්නා පාලම උඩටත් ආවා. පාලම දිගේ ටික වෙලාවක් ඇවිදගෙන යනකොට, වටේම තිබුණු කඳු නිසා ඉංජිනේරුවරයාට, තවත් තමන් කැමතිම විශයක් වෙන, භූ විෂමතාවය, භූ ගෝලීය පිහිටීම ගැන එක එක දේවල් මතක් උනා….. මේ මතක් වෙච්ච දේවල් එක්ක මෙයාට කට වහගෙන ඉන්න හිතුනේ  නැහැ.

“ඔයා මොකද රටක භූ විෂමතාවය, භූ ගෝලීය පිහිටීම ගැන හිතන්නේ….? ලෝකෙ තියෙන විවිධ භූ විෂමතා කලාප ගැන ඔයාගේ අදහස මොකක්ද….?” ඉංජිනේරුවරයා ධීවරයාගෙන් ඇහුවා.

“මට ඒ දේවල් ගැන ලොකු දැනුමක් නෑ මහත්තයෝ “. ධීවරයා කිව්වා.

“අයියෝ, අද කාලේ දැනුම ලබාගන්න කොච්චර ක්‍රම තියෙනවද? ඉන්ටර්නෙට් එකෙන් ම කොච්චර දේවල් දැනගන්න පුළුවන්ද? ඔය වගේ සාමාන්‍ය දේවල් වත් දන්නේ නැතුව වැඩක් තියෙනවද ?” ඉංජිනේරුවරයා කිව්වා.

“මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න දන්නේ නෑ මහත්තයෝ “. ධීවරයා පිළිතුරු දුන්නා.

“මේ කාලේ ඕනම පොඩි ළමයෙක් උනත් පාවිච්චි කරන්න දන්න දෙයක් තමයි ඉන්ටර්නෙට්. ඒකත් පාවිච්චි කරන්න දන්නේ නැද්ද?” ඉංජිනේරුවරයා උපහාසයෙන්  කිව්වා.

“මම පොඩි කාලේ මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා. මාව හදාගත්තේ ආච්චි. මට බාල තව නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ආච්චිට අපි හැමෝටම උගන්වන්නයි, කන්න බොන්න දෙන්නයි හයියක් තිබුණේ නැහැ මහත්තයෝ …….

මට අවුරුදු 10 වෙද්දිම ආච්චිත් නැති වුණා. ඉතින් එදා ඉඳන් මට සිද්ධ වුණේ මේ ගගත් එක්ක හැප්පිලා, නංගිවයි මල්ලිවයි ජීවත් කරලා මාත් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගන්න එක. ඒ නිසා මට ඉගෙන ගන්න බැරි වුණා. මම ගොඩක් ම ලියන්න කියන්න දන්නෙත් නැහැ.” ධීවරයා කිව්වා

“අයියෝ! ඉගෙනගෙනත් නැති කෙනෙක් ද ? ඉගෙනගෙනත් නැති  කෙනෙක්ගේ ජීවිතේ ඇති වටිනාකම මොකක්ද ? මොනවද ඔයා දන්නේ…..?” වැඩකට නැති ජීවිත”. ඉංජිනේරුවරයා ආයිත් කිව්වා.

කතාවෙන් කතාවෙන් දෙන්නා පාලම දිගේ  ගගේ මැදට වෙන්න ඇවිල්ලා හිටියේ .. ටික වෙලාවකින්, ධීවරයාට පරිසරයේ  වෙනසක් දැනුණා. වටපිටාව බලනකොට ධීවරයාට පෙනුනා, අහසේ කළුපාට වළාකුළු ගොඩක් එකතු වෙලා තියනවා, ලොකු හුළගක් එක්ක  මහ වැස්සක් කඩා වැටෙන්න යනවා කියලා. එගොඩට යන්න පාලම හරහා තව ගොඩක් දුරක් යන්නත් තියෙනවා, පාළම අබලන් නිසා දෙන්නටම ඒක දිගේ දුවන්නත් බැහැ. සුළඟට  පාලම වැනෙන නිසා, කඩා වැටෙන්න ඔන්න මෙන්න වගේ. ධීවරයාට හිතුනා පාලම කඩා වැටෙයි කියලා.

“මහත්තයට පීනන්න පුලුවන්ද?” ධීවරයා ඇහුවා

“මෙච්චර දේවල් කරන්න තියෙන මට, ඔය වගේ පොඩි දේවල් ඉගෙනගන්න ඕන කමක් තිබුනෙ නෑ”. ඉංජිනේරුවරයා කිව්වා ……..

“මේ පාලම වැනෙන  විදිහට මේක දැන් කඩාගෙන වැටෙයි වගේ”. ධීවරයා කිව්වා .

“ඔව්. ඒක නම් මටත් හිතෙනවා. අපි ඉක්මන් කරමු”. ඉංජිනේරුවරයා බයෙන් කිව්වා…

“ඉක්මන් කරලා දුවන්න ගියොත්, කොහොමත් මේක කඩන් වැටෙනවා….

මහත්තයා මේ දැන් පොඩ්ඩකට කලින් කිව්වා මගේ ජීවිතේ වැඩකට නැහැ කියලා.  මම මොනවද දන්නේ  කියලත් ඇහුවා . හැබැයි ඉතින් මේ වෙලාවේ, පාලම කඩාගෙන අපි දෙන්නා ගඟට වැටුනොත් නම්, මට වඩා වටිනාකමක් නැති වෙන්නේ මහත්තයාගේ ජීවිතයට තමයි. මොක ද මහත්තයා ලග තියෙන දැනුමෙන් නම් මහත්තයාගේ වටින ජීවිතය බේරගන්න බැරි වෙයි.”

ධීවරයා තමන්ගේ කතාව ඉවර කරන්නත් කලින් පාලම කඩාගෙන වැටුනා, හැබැයි ධීවරයාට පුළුවන් වුණා, වැටෙන්න කලින්  ඉංජිනේරුවරයාගේ අතකින් අල්ලගන්න.

පොඩි කාලේ ඉඳලම ගගත් එක්ක ජීවත් වෙච්ච මේ මනුස්සයා දක්ෂ පිහිනුම් කරුවෙක්. ඒ හින්දා, එදා ඉංජිනේරුවරයා අර වැඩකට නැහැ කියලා හිතපු මනුස්සයට පුළුවන් වුණා තමන්ගෙ ජීවිතයත් බේරගෙන ඉංජිනේරුවරයාගේත්  ජීවිතයත් බේරගන්න…..

ඔයාගේ ජීවිතෙත් ඔයාට ඕන තරම් හම්බ වෙලා ඇති, ඒ වගේම ඉදිරියේ දී හම්බ වෙයි,

# ඔයාට මොනවද පුළුවන්,

# මොකක්ද ඔයාගේ වටිනාකම  මොකක්ද කියලා අහන මිනිස්සු.

එහෙමත් නැත්නම්,

# ඔයා නම් වැඩකට නැහැ කියලා කියන මිනිස්සු.

ඔයා මොනාහරි දෙයක් දන්නෙ නැහැ කිවුවහම,

# අයියෝ ඕකවත් බැරිද කියලා අහන අය.

එහෙම අහපු මිනිස්සු නිසා, ඔයාට ඔයා ගැන කලකිරීමක් දැනිලත් ඇති, ඔයා වැඩකට නැති කෙනෙක් කියලා මොහොතකට හරි හිතිලත් ඇති. සමහරවිට ඔයාට මේ මොහොතෙත් ඔයාගේ  ජීවිතේ වැඩක් නෑ, වටින්නේ නැහැ, වැඩකට නෑ කියලා හිතෙනවා වෙන්නත් පුළුවන්.

හැබැයි මතක තියාගන්න හැම කෙනෙක්ම සුවිශේෂී පුද්ගලයෙක් කියන එක. (Every person is unique). ඒ නිසා තමයි තමන්ට , තමන්ටම  ආවේනික වෙච්ච ඇඟිලි සලකුණක් පවා තියෙන්නේ. තමන්  වගේ වෙන කවුරුත් නැහැ. ඒ වගේම තමන්ට  වෙන කවුරුවත් වගේ වෙන්නත් බැහැ.

හැම මනුස්සයෙකුටම මේ පොළොවේ කරන්න දෙයක් තියෙනවා. තමන්ට ආවේනික වෙච්ච කොටසක් තියෙනවා. තමන් හරියට කරන්න ඕන දෙයක් තියෙනවා. අනිත් අය තමුන්  කරන දේ දිහා බලලා, තමුන් නම් වැඩකට නෑ කියලා කියයි. හැබැයි එහෙම කිව්වා කියලා කවදාවත් ඔයා ඔයාව පහතට දාගන්න එපා. ඔයාට කරන්න තියෙන දේ, ඔයාගේ කොටස හරියට කරන්න.

තමන්  දන්නේ නැති දෙයක් තියෙනව නම්, අවශ්‍ය නම් ඒක පුළුවන් හොඳම විදිහට ඉගෙන ගන්න බලන්න. මේ ලෝකේ හැම මනුස්සයෙක්ම, හැම දෙයක්ම දැනගන්න ම ඕනි කියල එකක් නෑ.

ඔයා ඇත්තටම වටින කෙනෙක්. ඔයාට වටිනාකමක් තියෙනවා. මතක් කරලා බලන්න ඔයා වැඩකට නෑ කිවුවා  කෙනෙක්ට කරන්න බැරි වෙච්ච, ඔයා කරපු දේවල් මොනවද කියලා. ඒක මහ ලොකු දෙයක් කියලා ඔයාට හිතෙන්නේ  නැති වෙයි. හැබැයි හිතලා බැලුවොත්, ඔයා කරපු වටිනා දේවල් ඕන තරම් තියෙනවා. කවුරු පිළිගත්තේ නැතත්, ඔයා ඔයාගේ වටිනාකම පිළිගන්න. ඒක ඔයාගේම  ම විදිහට වැඩි කරගන්න බලන්න.

ඒ වගේම තමයි,

තමන් අනිත් අයව එක සැරයක් හරි පහත් කරලා කතා කරලා තියනවනම්, ඔයාගේ අතින් නිතර නිතරම ඒ වගේ දේවල් වෙනවා නම්, මතක තියාගන්න ඒ මනුස්සයා ගත කරපු ජීවිතේ, ඒ මනුසයාට විදින්න වෙච්ච අද්දැකීම්, ඒ කිසිම දෙයක් ඔයා හරියටම දන්නේ නැහැ. කිසිම කෙනෙක් තවත් පුද්ගලයෙක් ගැන හරියටම දන්නේ නැහැ. ඒ නිසා කිසිම කෙනෙකුට අයිතියක් නැහැ පුද්ගලයෙක්ව විනිශ්චය කරන්න. (Don’t be judgemental)

ඒ මනුස්සයා යම්කිසි පොඩි දෙයක් ලබාගන්න කරපු කැපකිරීම්. වෙච්ච මහන්සිය ඔයා හරියටම දන්නේ නෑ.

ඔයාට හරිම ලේසියි පිටින් බලලා,

# අයියෝ ඕක නම් මොකද්ද,

# ඕක කොච්චර පොඩි දෙයක් ද,

# ඔයාට තියෙන්නේ පොඩි ගෙයක් ද, පොඩි රස්සාවක් ද,

# ඔය විභාගේ පාස් වෙන එකනම් මොකක්ද

කියලා කියන්න.

හැබැයි ඔයා දන්නේ නැහැ ඒ පොඩි දේ, ඒ විදිහට හරි ගොඩනඟා ගන්න, ඒ මනුස්සයා කොච්චර මහන්සි වුනාද කියලා.

ඔයා කෙනෙක්ට දක්වන වැරදි ප්‍රතිචාර නිසා, ඔයාට නොකිව්වට, හිනාවෙලා නිකන් හිටියට,  ඒ මනුස්සයාගේ හිත ගොඩක් රිදෙනවා වෙන්නත් පුළුවන්.  ඔයා ඒක දන්නෙත් නැහැ.

ඒ නිසා හැම තිස්සෙම මනුස්සයෙක් ලඟ තියෙන දෙයක් අගය කරන්න.

මේ ලෝකෙ අනිත් මිනිස්සුන්ව පහත් කරන, මනුස්සයෙක්ගේ හිතක් රිදවන,

කෙනෙක්ගෙ වැරදි ම දකින මිනිස්සු අතරේ, මනුස්සයෙක්ගේ තියෙන පොඩි දේ හරි අගය කරන,

මනුස්සයෙකුට වටිනාකමක් දෙන,

වැරදි තියෙන මනුස්සයෙක්ගේ වුණත්, තියෙන එකම හොඳ දේ හරි දකින්න පුලුවන්, ලස්සන ඇස් දෙකක්, ලස්සන හිතක් තියෙන කෙනෙක් වෙන්න………

මම මේ අවුරුදු 34ට මිනිස්සුන්ගේ ඕන තරම් පහත් කතා අහගෙන තියේ. කරන තරමක් මිනිස්සු කලේ හිත රිදවන එක. ඒත් කවදාවත් මම සැලුනේ නැහැ.. මොකද මට එහෙම කල මිනිස්සුන්ගේ හිත් නරක් වුණාට මගේ හිත එහෙම නෑ… මං මගේ හතුරටත් ආදරය කරන මනුස්සයෙක්…

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

අගෝස්තු මාසයේ 15 වෙනිදා සිට අපගේ පාඨමාලාව නොමිළයේ ලබාදීම නතරකලා. මේ ගෲප් එකෙන් දැන් නොමිළයේ ලැබෙන්නේ  ජීවිතය ජයගන්න උපදෙස් සහ අතේ තියෙන මුදල රැකගන්න උපදෙස් පමණයි.

තාක්ෂණික කරුණු සහ මුදල් ඉපයීම් සම්බන්ධ සියලුම කරුණු සඳහා අපගේ පාඨමාලාව සම්බන්ධ වෙන්න ඕන. නොමිළයේ ඉගෙන ගන්න අවශ්‍ය අයට මේ ගෲප් එකේ පලකර ඇති පෝස්ට් 2,600 කියවා ඔන්ලයින් මුදල් ඉපයීම ගැන A-Z දැනගන්න පුළුවන්. ඒවා කියවා ඉගෙන ගන්නවාද නැද්ද යන තීරණය ඔබේය.

ඊයේ දිනයේ පෝස්ට් කියවන්න #2021අගෝස්තු16 ටච් කරන්න.

#2021අගෝස්තු17 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.

CharityShop Team

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments