දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | May 20, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

“ඔබ වතුර බාල්දියක් ගෙන පර්වතයක් මතට එය විසි කරන්න. එයින් පර්වතයේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇත. නමුත් පර්වතයේ එක් තැනකට දිය බිඳක් දිගින් දිගටම වැටෙන්න සලස්වන්න, එය පර්වතයේ සියුම් සිදුරක් නිර්මාණය කරනු ඇත.”

මේ කතාව ඔබ මීට පෙරත් අසා ඇතුවාට සැකයක් නෑ. මෙයින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? සමහරු දෙයක් පටන් ගන්නේ රටටම දැනෙන්න. හැබැයි මාසයක්, දෙකක් යනකොට ඒ දේ තිබුන තැන වත් හොයාගන්න නැතිවෙලා  යනවා….. මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ වරක් දෙවරක් නම් නෙමෙයි. ඕන තරම් අපි මේ අත්දැකීමට මූණ දීලා තියෙනවා. එහෙමනම් මේ කාරණා වලින් අපිට තේරෙන දේ තමයි අමාරු පටන් ගන්න නෙමෙයි, අමාරු අල්ලගෙන ඉන්න. දිනන්න ඕන නම් අල්ලාගෙන ඉන්න ඕනේ….

දිනන්න ඕනේ නම් අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තමයි, තමුන් කරන දේ දිගටම කරගෙන යන එක, තේරෙන භාෂාවෙන් කිව්වොත් අල්ලාගෙන ඉන්න එක. ඒ තත්ත්වයට පත්වෙන්න නම් අනිවාර්යයෙන්ම තමුන් කරන දේ වගකීම සියයට සියයක්ම බාර ගන්න ඕනේ. මොකද, කියමනක් තියෙනවා; “සාර්ථකත්වයට විදුලි සෝපානයක් නොමැත. ඔබ පඩිපෙළ භාවිතා කළ යුතුය.” කියලා.

මේ පඩිපෙළ හැදිලා තියෙන්නේ සාර්ථකත්වයට ඔබ ගමන් කරන දින, සති, මාස, අවුරුදු ගණන් වලින්. මේ කාරණාව කියන්න මම උදාහරණයට ගන්නේ ලෝක ප්‍රකට ආර්ජන්ටීනියානු සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී …….මෙසී හරි අපූරු කතාවක් කියනවා.

“මම හැමෝටම කලින් උදෑසන වැඩ පටන් ගන්නවා. ඒ වගේම අනිත් හැමෝටම පස්සේ මං මගේ වැඩේ ඉවර කරනවා. මේ වගේ දින, සති, මාස, අවුරුදු එකින් එක ගෙවිලා අවුරුදු 17කුත් හරියටම දින 114කට පස්සේ, එක් රාත්‍රියකදී මං ගැන මුළු ලෝකයක් කතා කරන්න පටන් ගත්තා.”

බලන්න මේ කියමන ඇතුලේ තියෙන සැබෑ අරුත මොකක්ද? කියලා…

සාර්ථකත්වය = අඛණ්ඩ කැපවීම

2019දී මේ වයස අවුරුදු 32ක් වන ක්‍රීඩකයාගේ වත්කම ඇස්තමේන්තු ගත කොට තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට වඩා වැඩියි කියලා… දැන් පේනවා නේද? සාර්ථකත්වයේ ප්‍රතිඵලය.

සාර්ථකත්වයේ හිනි පෙත්තටම නැගපු ලයනල් මෙසී වගේම, තමන්ගේ සාර්ථකත්වය තමුන්ගේ අඛණ්ඩ කැපවීම මත ලඟාකරගත් තවත් කෙනෙක් තමයි උසේන් බෝල්ට්….. ජැමෙයිකාවෙන් බිහිවෙච්ච සුපිරි මලල ක්‍රීඩක උසේන් බෝල්ට්. ඔහු ඔහුගේ අඛණ්ඩ කැපවීම ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.

“මම අවුරුදු හතරක් එක දිගට පුහුණුවී මීටර් සීයක් තප්පර 9 නිමා කරනවා. නමුත් සමහර මිනිසුන් තමුන් කරන දේ ප්‍රතිඵල ලැබීමට මාස දෙකක් ගතවූ තැන ඒක අත්හැර දමනවා. සමහරවිට අසාර්ථකත්වය ළඟා කර ගන්නේ තමා විසින්මයි.”

සමහරුන්ට ඕනේ ක්ෂණික ප්‍රතිඵල. ක්ෂණික ප්‍රතිඵල නොලැබුණු ගමන් අතහැරලා දානවා. ඒකයි උසේන් බෝල්ට් කියන්නේ අසාර්ථකත්වය ළඟා කර ගන්නේ තමා විසින්මයි කියලා.

උසේන් බෝල්ට්,ගේ චරිතය අධ්‍යයනයෙන් ඔහුගේ අඛණ්ඩ කැපවීම මෙන්ම කාලය ආයෝජනය කිරීම ගැන ගතහැකි උදාහරණ බොහෝමයි.

ඔහු පසුගිය ඔලිම්පික් උළෙල 3 දී දිනා ගෙන ඇති මුළු රන් පදක්කම් ගණන 9ක්. ඒ වෙනුවෙන් ඔහු ධාවන පථයේ ගතකොට ඇති කාලය තප්පර 115ක්. එය විනාඩි දෙකකටත් වඩා අඩුයි. ඔලිම්පික් පදක්කම් නවයක් වෙනුවෙන් ඔහුගේ මුළු ඉපැයුම ඇමරිකානු ඩොලර් මිලියන 119ක්. ඒ කියන්නේ ඔහු ධාවන පථය තුළ ගත කොට ඇති තත්පරයක වටිනාකම ඇමරිකානු ඩොලර්  මිලියන එකකටත් වඩා වැඩියි නේද? හැබැයි ඔහු කියනවා, මේ වෙනුවෙන් ඔහුගේ පුහුණුවීමේ කාලය අවුරුදු 20ක ටත් වඩා වැඩියි කියලා.

පේනවා නේද? “අඛණ්ඩ” කැපවීමේ ප්‍රතිඵල. වටේ බලාගෙන ඉන්න මිනිස්සුන්ට , ඒ කියන්නේ නරඹන්නන්ට පෙනෙන්නේ ප්‍රතිඵල විතරයි. හැබැයි, ඒ වෙනුවෙන් ඔහු කරපු අඛණ්ඩ කැපවීම කාටවත් පේන්නේ නෑ. නමුත් ඒ අඛණ්ඩ කැපවීම දවසක ඔහුව එක් රැයකින් ලෝකය පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් කරනවා.

එහෙමනම් දැන් තේරුම් ගන්න විශිෂ්ටයන් නිර්මාණය කරපු වචන‍ය තමයි “අඛණ්ඩතාවය”; තේරෙන භාෂාවෙන් කිව්වොත් අල්ලාගෙන ඉන්න එක.

ඇත්තටම මෙහෙම අල්ලාගෙන ඉන්නේ කොහොමද ?

මහත්මා ගාන්ධි කියන්නේ මෙන්න මේ විදිහට…

“ඔබේ සිතුවිලි දෙස පරෙස්සමින් බලන්න, මන්ද ඒවා ඔබේ වචන බවට පත්වේ. ඔබේ වචන ගැන සැළකිලිමත් වන්න. මක්නිසාද ඒවා ඔබේ ක්‍රියාවන් බවට පත්වනු ඇත. ඔබේ ක්‍රියාවන් සලකා බලා විනිශ්චය කරන්න. මක්නිසාද …ඒවා ඔබේ පුරුදු බවට පත්වනු ඇත.  ඔබේ පුරුදු, වටිනාකම් තේරුම් ගෙන වැලඳ ගන්න. මන්ද ඒවා ඔබේ ඉරණම බවට පත්වේ……

මනුස්සයෙක් කියන්නේ පුරුදු රාශියක එකතුවක්. පුරුදු තමයි අපේ ඉරණම තීරණය කරන එකම දේ. අපේ ඉරණම වෙනස් කරන්න ඕනේ නම්, අපිට කරන්න තියෙන්නේ අපේ දෛනික ජීවිතයේ පුරුදු වෙනස් කරගන්න එක.

නිදර්ශනයක් විදියට ගත්තොත් හුඟක් දෙනා කිසිම අවබෝධයක් නැතුව අවදි වුණු ගමන් දිනපතා එකම දේ කරනවා. ඇඳෙන් බැහැලා නාන කාමරේට ගිහින් දත් මදිනවා. ඒක නිසා දවස් 21ක් පුරා ඔයා ඔයාගේ ඉලක්ක එක්කම හිටියම, දිනපතා ඒ හැම දවසකම එකම වෙලාවකදී ඒ අලුත් වැඩේ කලහම, ඒක ඔයාගේ දෛනික වැඩපිළිවෙළට එකතු වෙනවා. ඔයාගේ අලුත් පුරුද්ද භාවනා කිරීම වෙන්න පුළුවන්, නැත්නම් කලින් අවදිවීම වෙන්න පුළුවන්, එහෙම නම් දිනපතා පැයක කාලයක් කියවීම වෙන්න පුළුවන්… ඒ හැම එකක්ම හරියට ඔයාගේ දත් මැදීම වගේ පහසුවෙන් කෙරෙන්න පටන් ගන්නවා. දවසකට පැයක් කියන්නේ ලොකු කාලයක්ද? නෑ… කොහෙත්ම නෑ… දවසකට පැයක් කියන්නේ දවසකින් 4%ක් වගේ බොහොම පුංචි කාලයක්…

“පහසුව යනු කිසිදු අවස්ථාවක තෝරා ගැනීමක් නොවේ. විවේක ගැනීම මඳකට කල් තබන්න. අතරමඟ අතහැර දැමීමට නොසිතන්න. ස්වභාවයෙන්ම ඔබට හැකියාවන් ඇත. කුසලතා වර්ධනය කරගත හැක්කේ පැයෙන් පැය ක්‍රියාත්මක වීම තුළින් පමණි.”

මේ විදිහට පුරුදු වෙනස් කරගන්න පටන්ගන්නේ කොහොමද? මේ ටික කරලා බලන්න …..

මෙම ක්‍රම 10 ඔබ ප්‍රගුණ කිරීමට සහ ජය ගැනීමට උත්සාහ කරන ඕනෑම එක්ෂේත්‍රයක අඛණ්ඩව හා ස්ථාවරව සිටීමට ඔබට උපකාරීවනු නොඅනුමානයි.

අත්දුටුවයි ! ප්‍රත්‍යක්ෂයි ! සහතිකයි !

  1. ඔබට එය කිරීමට අවශ්‍ය නම් එයට අනිවාර්යයෙන්ම කැප වන්න.
  2. වරකට එක් ප්‍රධාන දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න.
  3. සංකීර්ණ නොවන්න. එය සරල හා කල්පවතින ලෙස සකස් කරන්න.
  4. අවශ්‍ය විට නිර්මාණශීලීත්වයට වඩා කාර්යක්ෂමතාව තෝරන්න.
  5. අනාගතයේදී ඇතිවිය හැකි ගැටළු තොරතුරු විශ්ලේෂණයෙන් හඳුනා ගන්න.
  6. යථාර්ථවාදී ඉලක්ක සහ අපේක්ෂාවන් සකසන්න.
  7. වේගයෙන් ගමන් කිරීමට මතක තබා ගන්න. විනෝද වීමට සහ විවේකීව සිටීමට යම් කාලයක් ගත කරන්න.
  8. කාර්ය සාධනයට වඩා ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරන්න.
  9. නැහැයි කීමට ඉගෙන නොගන්න….
  10. යමක් අතහැර නොදැමීම ගැන ඔබට සමාව දී නැවත ඒ කාර්යය මුල සිට අරඹන්න.

හැමෝම යන පාර හරි ජනප්‍රියයි. හැබැයි  ඒ හැමෝටම තියෙන්නේ අනුන් එක්ක තරඟයක්. මේ අනවරත තරඟය ඉවර වෙන්නේ කවදාටද?

ඒක ඉවරවෙන්නේ අපේ මරණයත් එක්ක. හැබැයි, අනුන් එක්ක තරඟ කරන කෙනෙකුට තමුන්ගේ මරණය තෙක් කිසිම නිදහසකුත් නෑ… සැනසීමකුත් නෑ…

හැබැයි, තමුන් තරඟ කරන්න ඕනේ ඊයේ හිටපු හොඳම තමුන් එක්ක මිසක් අනුන් එක්ක නෙමෙයි. ඊයේ හිටපු හොඳම තමුන් එක්ක තරඟ කරන කෙනෙක් හැම විටම සංවර්ධනය වෙනවා. පුද්ගල සංවර්ධනය කියන්නේ ඒකට…

ඒක නිසා හැමෝම යන ජනප්‍රිය පාරේ නොගියට කමක් නෑ. තමුන්ගේ පාරට හැරෙන්න. ඒකේ කිසිම තදබදයක් නෑ. සැබෑ ජයග්‍රාහකයෙක් වෙන්නේ අන්න එතකොට…..

අනුන් එක්ක නෙමෙයි, තමුන් එක්ක තරඟ කරන්න. ජනප්‍රිය දේ නෙමෙයි, හරි දේ තෝරාගැනීම ඔබ සතු යුතුකමක්… වගකීමක්…

තවද ,

බොහෝ මිනිසුන් අපට වැරදි කර….

අපි ඔවුනට වැරදි කළා සේ රගපාති….

කණගාටු නොවන්න …

ප්‍රවේශම් වන්න !!

මිනිස් ස්වභාවය එයයි….

මිනිසුන් දෙන ප්‍රසංසා ඔළුවට ගන්න එපා….

මිනිසුන් දෙන විවේචන පපුවට ගන්නත් එපා….

නොසැලී ඔබ ඔබේ ජයග්‍රහණය උදෙසා පිය නගන්න…..

උදාහරණ වලට වෙන කිසිම කෙනෙක් ඕන නැහැ, CharityShop සහ මම ගන්න…. දීර්ඝව විස්තර ඕනනම් දවසේ සිතුවිලිවල මගේ ජීවිත කතාව කියවන්න…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට #2021මැයි19 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021මැයි20 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments