දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Jun 22, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

“තට්ටු කරන්නාට දොර ඇරේ !” කියන්නේ අනාදිමත් කාලයක ඉඳලා අපි හැමෝම අහන කියමනක්. ටික කාලයක් යනකොට “තරුණයන්” මේ කියමන වෙනස් කරලා, “තට්ටු කරන්නාට තට්ටු වේ !” කියලා අළුත් කියමනක් හදාගෙන කියනවත් ඔබ අහලා ඇති.ඉතිං  තට්ටු කරන්න ගියොත් තට්ටු වෙයිද? එහෙම නැත්නම් තට්ටු කලොත් ජීවිතයේ සාර්ථකත්වයට යන පාර හොයාගන්න දොරටුවක් විවෘත කරගන්න පුළුවන් වෙයිද?

“තට්ටු කරන්නාට දොර ඇරේ “!

එදිනෙදා ජීවිතයේදී අපට හමුවන දහස් ගණනක් මිනිසුන් පැමිණිලි කරන්නේ කුමක් ගැනද? ඔවුන් බොහෝවිට පැමිණිලි කරන්නේ ඔවුන් බලාපොරොත්තු වූ ජීවිතය ගත නොකරන බවත්, ඒ වෙනුවෙන් අපට උදාවූ අවස්ථාවන් ලබා නොගත් බවත්ය.

කිසිදු අවස්ථාවක් දෙවරක් තට්ටු නොකරයි.

ජීවිතයේ ඔබට උදාවන කිසිදු අවස්ථාවක් ඔබට දෙවරක් උදා නොවේ. දොඩම් ගොඩ බදාගන්නාක් මෙන් ජීවිතයේ ඔබට ලැබෙන සෑම අවස්ථාවක්ම භාර ගැනීම සාර්ථකත්වට බාධාවක් වනවා සේම, ඉදිරි අනාගතය ගැන අසීමිත බලාපොරොත්තු සමුදායක් සමඟ ලැබෙන අවස්ථාවද මඟ හරිමින් කල් මැරීමද සාර්ථකත්වයට අතිශයින්ම බාධාවකි.

එසේනම් ජීවිතයේ ඔබේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට, ඔබ ඒ වෙනුවෙන් ඔබේ කාලය, ධනය, ශ්‍රමය, අවස්ථාවන්, දැනුම කැපකර තිබේද? ඔබ එසේ යම්කිසි කැපකිරීමක් කර තිබෙන්නේ ඔබට එය ලබාගැනීම අතිශයින්ම වැදගත් වන්නේ නම් පමණකි. අපගේ සිහින හෝ අරමුණු සාක්ශාත් කර ගැනීමට නම්, ඔබ නිරන්තරයෙන් ඒවා සොයා බැලිය යුතු අතර ඔබගේ උත්සාහය කිසිදු ලෙසකින්වත් අත් නොහැරීමට අදිටන් කරගත යුතුය.

අහසින් කඩා පාත් වූ කිසිදු දෙයක් නොමැත. ඔබට යමක් ළඟාකර ගැනීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරගන්න. ඒ සැලසුම් ක්‍රියාවේ යොදවන්න. කිසිදු අවස්ථාවක කිසිදු හේතුවක් නිසා පසුබට වන්න එපා. කිසිදු හේතුවක් නිසා වත් සැලසුම අතරමඟ අතහැර දමන්න එපා. දැඩි විශ්වාසයක් සමඟ ප්‍රතිඵල ලැබෙනතාක් උත්සාහ කරන්න.

“වාය මේතේව පුරිසෝ

යාව අත්ථස්ස නිප්පදා”

“වරක් දෙවරක් නොව, ප්‍රතිඵල ලැබෙන තුරුම උත්සාහ කරන්න.” – බුදුරජාණන් වහන්සේ –

බොහෝ දෙනෙක් යමක් සඳහා උත්සාහ කරනු ලබන්නේ වරක් නැතහොත් දෙවාරයක් පමණි. ඉන්පසු ඒ කටයුත්ත හදවතින්ම අතහැර දමයි. නමුත් ඕනෑම කටයුත්තක සාර්ථකත්වයේ රහස නම් ප්‍රතිඵල ලැබෙන තුරුම වූ අප්‍රතිහත උත්සාහයයි. එවිට ඔබේ උත්සාහය මල් ඵල ගැන්වෙනවා ඒකාන්තයි. යම්කිසි කටයුත්තකට උත්සාහ කරන විට බාධාවන් පැමිණීම ස්වභාවිකය. එම බාධාවන් අභියෝග ලෙස බාරගෙන එම අභියෝග වලට අභියෝග කරන්න. තට්ටු කරන්න, අනිවාර්යයෙන්ම දවසක දොර ඇරෙනවා, අත්දුටුවයි ! ප්‍රත්‍යක්ෂයි ! සහතිකයි !

“තට්ටු කරන්නාට තට්ටු වේ “!

බොහෝ ඍණාත්මක පසු ගාමී පුද්ගලයන්ගේ සිතුම් පැතුම් වලට අනුව නම්, යම්කිසි අළුත් දෙයක් කරන්නට ගියහොත් අනිවාර්යයෙන්ම ගැටළු මතුවන බැවින්, අනෙක් සාමාන්‍ය මිනිසුන් කරන එදා වේල සොයා ගැනීමේ සාමාන්‍ය දෙයක් කරගෙන සිටීම හොඳයැයි ඔබ වටේ සිටින පිරිස ඔබට කියනු ඇති. ඔවුන්ගේ චින්තනයට අනුව අළුත් අළුත් දේ අත්හදා බලලා වැරදෙන්නේ, පැරදෙන්නේ නැතුව, ඒ ගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් නාගන්නේ නැතුව… එදාවේල ටුවර් එකක් ගහගෙන ඉන්න එක ඇඟට බොහෝම ගුණදායකය. නමුත් ඔබ අනෙකුත් සාමාන්‍ය මිනිසුන් කරන දෙයම කිරීමෙන් ඔබට සාමාන්‍ය ප්‍රතිඵලත්, යම්කිසි වෙනස් දෙයක් කිරීමෙන් වෙනස් ප්‍රතිඵලත් ලබා ගත හැකි බව ජනවහරේ එන කියමන් වලින් පවා සනාථ වෙයි.

“තල වැපිරුවොත් තල – මුං වැපිරුවොත් මුං

තල වපුරලා මුං හම්බවෙන්නෙත් නෑ,

මුං වපුරලා තල හම්බවෙන්නෙත් නෑ.”

ඔබට ලැබෙන්නේ ඔබ වපුරන දෙයෙහි ප්‍රතිඵල නම් ඔබ වෙනස් ප්‍රතිඵල අපේක්ෂාවෙන්, වෙනස් දෙයක් සිදුකල යුතුය. එසේ වෙනස් දෙයක් කරන්නට ගියහොත්, ඔබට අනෙකුත් සාමාන්‍ය පුද්ගලයන්ට ඇති නොවන ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු නොඅනුමානයි.

එවිට ඔබ වටේ සිටින්නා වූ “නරඹන්නන්” හෙවත් ප්‍රේක්ෂකයන්ගෙන් ඔබට නින්දා, අපහාස, ගැරහුම්, අතහැරීම් විඳින්නට සිදුවනු නොඅනුමානයි. නමුත් ඔබ නියුක්ත වන කාර්‍යය පිළිබඳව ඔබට අවංක විශ්වාසයක් තිබේනම් ඔබට නුදුරේම දිනක සාර්ථක ප්‍රතිඵල ලැබෙනු නොඅනුමානය. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න.

හොඳම හැඟීම වන්නේ පිළිමළුන් පිටු දැකීමෙන් ජයග්‍රහණය කිරීමයි.

පිලිපීන ජාතික වෘත්තිමය බොක්සිං ක්‍රීඩකයෙකු වන නොනිටෝ ඩොනෙයිරේ පවසන ආකාරයට තමා ඉදිරියට එන ප්‍රතිමල්ලවයන් අභිබවා ජයග්‍රහණය කිරීම මගින් ජයග්‍රාහී හැඟීම, ආත්ම විශ්වාසය, තමාද යමක් කල හැකි විශිෂ්ඨ පුද්ගලයෙකුය යන හැඟීම ඕනෑම පුද්ගලයෙකු තුළ ජනිත වන බැවින් තමා අපහාසයට මෙන්ම උපහාසයට ලක් කරන ප්‍රතිමල්ලවයන් කතාවෙන් නොව ක්‍රියාවෙන් ජයග්‍රහණය කර පෙන්වීම අතිශයින්ම වැදගත් කාරණාවකි.

තට්ටු කිරීමේ කලාව !

තට්ටු කිරීම අමුතුම කලාවකි. කිසිදු විටෙක, කිසිදු අවස්ථාවක් රන් බන්දේසියක තබා ඔබට පිළිගන්වනු නොලබයි. අනිවාර්යයෙන්ම ඒ සඳහා වැටී ඇති මාර්ගය අතිශයින්ම දුෂ්කරය. ස්වයං අභිමානයෙන්, ආත්ම විශ්වාසයෙන් ඒ ගමන ජයග්‍රහණයෙන් මිස මෙපිටින් නතර නොවන ලෙස ඇරඹීමට නම් උට්ඨාන වීර්යය අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

එසේ ජයග්‍රහණයෙන් මිස එයට මෙපිටින් නොනවතින හැඟීමෙන් අරඹන ගමන සෑමවිටම තමා ඊළඟ අදියරට සූදානම් බව තමාගේ විනිශ්චය කරුවන්ට තේරුම් ගැනීමට අවස්ථාව දිය යුතුය. තමා දැනට නියුක්ත වන තනතුරේ වැඩ කටයුතු 100%ක් නොපිරිහෙලා ඉටුකරන ගමන්ම, තමා ඊළඟ අදියරේ වගකීම බාරගැනීමට සූදානම් බව තමාගේ විනිශ්චය කරුවන්ට හෙවත් ඉහළ නිළධාරීන්ට අනිවාර්යයෙන්ම වචනයෙන් නොව ක්‍රියාවෙන් තේරුම් ගැනීමට අවස්ථාව දිය යුතුය.

එමෙන්ම තමාගේ අපේක්ෂාව උදා නොවන බව තමාට පෙනෙන්නට තිබේනම් එය උදාකර ගැනීමට තමා උපක්‍රමශීලී විය යුතුය. සමහර විටෙක තමා ගමන් ගන්නා මාර්ගය ප්‍රතිඵලදායක නොවන බව පෙනී යන්නේ නම්, ඊට වඩා වෙනත් විකල්ප මාර්ගයන් තිබීමටද පුළුවන. ඒ ගැන විමසිල්ලෙන් කටයුතු කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. සරළ උදාහරණයකින් කියතහොත් ඔබ කොළඹ සිට කතරගමට යා යුතු යැයි සිතන්න. ඔබට ඉතා ඉක්මනින් යායුතු නම් ඔබට අධිවේගී මාර්ගය හරහා ගමන් කළ හැකිය. ඔබට සාමාන්‍ය වේගයකින් කෙටි මාර්ගයකින් කතරගමට ළඟාවීමට නම් කොළඹ – ගාල්ල (A2) මාර්ගය හරහා ගාල්ල, මාතර, හම්බන්තොට, තිස්සමහාරාමය හරහා කතරගමට ළඟාවිය හැක. ඒ මාර්ග දෙකම ඔබට බාධා සහිත නම් තවත් මාර්ග දෙකක් ඔබට විවෘතව පවතී. ඒ රත්නපුර, ඇඹිලිපිටිය, නෝනාගම, අම්බලන්තොට, හම්බන්තොට, තිස්සමහාරාමය හරහා කතරගමටත් ය. එයත් බාධා සහිත නම් ඔබට කොළඹ, රත්නපුර, පැල්මඩුල්ල, තිඹොල්කැටිය, උඩවලව, තණමල්විල, පන්නෙගමුව, තිස්සමහාරාමය හරහා කතරගමට ළඟාවිය හැක.

“දැන ගියොත් කතරගම – නොදැන ගියොත් අතරමඟ”

ඔබ අතරමං නොවී කතරගම යාමට නම් මේ මාර්ග සියල්ලම දැනගෙන සිටිය යුතුය. එයට ප්‍රධාන හේතුවනම් ඔබේ අවශ්‍යතාවය අනුව එදිනට පවතින කාලගුණික, දේශගුණික, දේශපාලන හා සමාජ තත්ත්වයන් මත යා යුතු මාර්ගය ඔබ තීරණය කලයුතු බැවින් මෙන්ම ඔබ ගමන් කරන මාර්ගයේදී ඇතිවිය හැකි අවස්ථානුකූල බාධාවන් පවතී නම් අරමුණ එලෙසින්ම තබාගෙන එයට ළඟාවන මාර්ගය වෙනස් කර විකල්ප මාර්ග හා එකතු වීමට අවස්ථාව සැලසෙන බැවිනි.

“ඔබට අවස්ථාව තට්ටු නොකරන්නේ නම් දොරක් තනාගන්න.”

මෙයින් අදහස් වන්නේ ඔබට ඔබේ බලාපොරොත්තුව ස්වභාවිකව උදානොවන්නේ නම්, ඔබ වහ වහා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වී නව මාර්ගයක් විවෘත කර ගත යුතු බවකි. එය නිර්මාණශීලී පුද්ගලයෙකුට පහසු කටයුත්තකි. ඍණාත්මක පුද්ගලයෙකුට සෑම පිළිතුරකම ප්‍රශ්නයක් පෙනෙන්නට ඇතත්, ධනාත්මක පුද්ගලයෙකුට සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් පෙනෙන්නට ඇත. ඒ නිසා ඔබගේ ජීවිතයේ ඔබ බලාපොරොත්තු වන දේ උදාවේ යැයි සිහින දකිමින් සිටියහොත් ඔබ බොහෝ කාලයක් බලා සිටිනු ඇත. නමුත් මිල්ටන් බර්ල් පැවසූ පරිදි ඒ ගැන බලාපොරොත්තුවෙන් යමක් කිරීම ඊට වඩා ප්‍රතිඵලදායකය. අපගේ අරමුණු සාර්ථකත්වයට මඟ පෙන්වන අවස්ථාවන් අප විසින්ම නිර්මාණය කර ගත යුතුය.

“ඇරෙන දොරෙන් පිවිසීමේ කලාව” !

ජීවිතයේ මින්පෙර උදානොවූ නව අවස්ථාවක් උදා වූ විට බොහෝ දෙනෙකු විසින් එය එකවර ප්‍රතික්ෂේප කරනු ලබයි. නමුත් එය තමා හට ජීවිතයේ අළුත් ඉසව්වක් සොයා යා හැකි පිවිසුම් මාර්ගයක් නම් එම අවස්ථාව මඟ හැරීමෙන් එම සමස්ත මාර්ගයම වැසී යනු ඇත.

එංගලන්තය තම නිජබිම කරගත් ලෝක ප්‍රකට ව්‍යාපාරික රිචර්ඩ් බ්‍රැන්සන් අපට ඇරෙන දොරෙන් පිවිසීමේ කලාව හරි අපූරුවට කියදෙයි. මෙලොව එළිය දකින විට අප අද කරන කිසිදු ආකාරයක හැකියාවක් තිබුනාද? නැත. උපන්දා සිට අප විවිධාකාර නිපුණත්වයන් ලබා ගනිමින් ජීවිතය අද තිබෙන තත්ත්වයට ගෙන ආවේය. එම නිසා නව අවස්ථාවක් ජීවිතයට පැමිණි විට;

“මම ඒක කරලා නෑ !”

“මම ඒක දන්නේ නෑ !”

“මට ඒක කරන්න බෑ !”

“මම ඒක මීට කලින් ඉගෙන ගෙන නෑ !” වැනි පසුගාමී ප්‍රකාශ සිදුනොකොට ලැබෙන අවස්ථාව බාර ගන්න. පසුව එම විවෘත වූ දොරෙන් ඇතුල් වී, එම කාර්යය සිදුකරමින් ඉගෙනගන්න. සාම්ප්‍රදායිකව එම කාර්යය සිදුකරන අයෙකු බොහෝවිට දන්නේ එය සිදුකරන එක් ක්‍රමයක් පමණි. ඔහු රැකියාව ආරම්භ කල අවස්ථාවේ සිට අවසන් කරන අවස්ථාව දක්වා එය සාම්ප්‍රදායිකත්වය මුල් කරගෙන සිදුකරනු ඇත. නමුත් එම කාර්යය අළුතින් ඉගෙන ගන්නා අයෙකුට එම සාම්ප්‍රදායික විසඳුමට ළඟාවිය හැකි නව නිර්මාණශීලී මංපෙත් විවරවෙනු ඇත. ඔබ නිර්මාණශීලී පුද්ගලයෙකු නම් නව අත්හදාබැලීම් සමඟින් ඔබ නව නිර්මාණයක් ජනිත කරනු ඇත. එවිට ඔබ විවෘත වූ දොරෙන් පිවිසී ඉදිරියේ ඇති පියගැටපෙළින් ජීවිතයේ ඉහළටම නැගීමට අවස්ථාව උදාකරගනු ඇත. යමක් ඉගෙන ගත හැකි ක්‍රම දෙකක් තිබේ.

පොතෙන් පතින්, පාසලකින්, විශ්ව විද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් ඉගෙන ගත හැක. එවිට ඔබට ලැබෙන්නේ න්‍යායික දැනුම (Theory) පමණි. නමුත් දෙවැනි ක්‍රමයේදී ඔබට වැඩ කරමින්, අත්දැකීමෙන් (Practical) ඉගෙනගත හැකිය. මෙය අප හඳුන්වන්නේ “Learning by doing” වැඩ කරමින් ඉගෙන ගැනීම යනුවෙනුයි. න්‍යායික දැනුම වැදගත් වුවත් අද වර්තමාන ලෝකයේ වඩා වැදගත් වන්නේ ප්‍රායෝගික දැනුමයි.

හිත හිතා ඉන්නේ නැතුව දැන්ම පටන් ගන්න. “තට්ටු කරන්නාට දොර ඇරේ !” යන්න දැඩිව විශ්වාස කරන්න. ක්‍රියාවේ යොදවන්න. එය ඔබේ ජීවන දර්ශනය කරගන්න. ඔබට ලැබෙන සෑම දිනයක් පාසාම නවමු අවස්ථාවන් උදාවනු ඇත.

CharityShop වල නිකරුණේ කාලය ගත කරන්න එපා. CharityShop ප්‍රවර්ධන පත්‍රිකා  Group එකේ තියේ ඕනෑ තරම් මුදල් සොයන ක්‍රම. ඒවා උත්සාහ කරන්න. පෝස්ට් ශෙයාර් කරන්න. කෝක හරි හරි යන්න ඉඩ තියේනේ. නිකන් ඉඳලා පහළ වෙන්නේ නෑ. පෝස්ට් එකක් ශෙයාර් කරලම බලන්න….

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූනි21 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූනි22 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments