දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Jun 28, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

පොඩියට ව්‍යාපාරයක් පටන් අරගෙන, ඒක දියුණු කර ගන්න ගමන්, තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න උත්සාහ කරන අයට වැදගත් කතාවක්…

හුගක් දෙනා තමන්ගේ  හිතට අදහසක් ආපු ගමන් කිසිම හෙවිල්ලක්, බැලිල්ලක් නැතුව වැඩ පටන් ගන්නවා. අන්තිමට පටන් ගත්තාටත් වඩා ඉක්මනින් ඒ වැඩේ අතහැරලා දානවා. ඊළඟට කවුරුහරි අහපුවහම කියනවා ඒක කරලා හරියන්නෑ… මං ඔන්න ඔහේ ඒ වැඩේ අල්ලලා දැම්මා කියලා…

හැබැයි මේ විදිහට දෙයක් අතරමඟ අතහැරලා  දාන්නේ නැතුව මුලදී හොඳට හිතලා පටන් ගත්තා නම් “තිතක්” වගේ තමන්ගේ හිතේ පහළ වන ව්‍යාපාරික අදහසක් වටාපිටාවේ කරුණු කාරණා සලකා බලලා “බෝලයක්” තරමට වැඩි දියුණු කරගන්න පුළුවන්. අන්න එහෙම හිතේ පහළවෙන පුංචි ව්‍යාපාරික අදහසක් වැඩිදියුණු කර ගන්නේ කොහොමද?

හිතේ පහළවෙන ඕනෑම පුංචි ව්‍යාපාරික අදහසක් (“තිතක්”) දිගු කාලයක් කරගෙන යන විදියට පටන් ගන්න නම් ප්‍රධාන දේවල් දෙකක් ගැන මුලින්ම සැලකිලිමත් වෙන්න වෙනවා.

1️⃣ සැලසුමක් ඇතුව පටන් ගන්න එක…

2️⃣ අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන තෙක් ඉවසීමෙන් එම සැලසුම ක්‍රියාවේ යොදවන එක…

???? සැලසුමක් ඇතුව පටන් ගන්නේ කොහොමද ?

ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබට පහල වෙච්ච අදහස ක්‍රමානුකූලව පියවරෙන් පියවර  සැලසුමක් බවට පත් කරන්නේ කොහොමද? කියලා කියන එක, ව්‍යාපාරික අදහසක් පහළ වුණු බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්.

“තිතක්” වගේ ව්‍යාපාරික අදහසක් “බෝලයක්” තරමට වැඩි දියුණු කරගන්න, ව්‍යාපාරික අදහසක් හිතට ආපු කෙනෙක් තමන්ගෙන්ම අහන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා.

ඇයි මම ව්‍යාපාරයක් පටන් ගන්නේ ?

ව්‍යාපාරයක් පටන් ගත්න හිතට ආපු පමණින් ව්‍යාපාරයක් පටන් ගන්නේ නැතුව තමුන්ගෙන් කීප වතාවක් ඇයි ?

කියලා අහන්න ඕනේ… ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුමක් මගේ ගාව තියෙනවද ?, ඒ සැලසුම ක්‍රියාවේ යොදවන්න පුළුවන් වගේම කඩාවැටීම් වලට මුහුණ දෙන්න පුලුවන් මානසික ශක්තියක් මා සතුව දැනට තියෙනවද ?, මගේ පළමු සැලසුම (Plan A) වැරදුනොත් මම ඊළඟට (Plan ???? මොකද කරන්නේ ? වගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඕනේ…

රැකියාවක් කරන කෙනෙකුට බොහෝවිට ආයතනයෙන් ලබා දීපු ප්‍රධානියෙක් ඉන්නවා. ඔහු උපදෙස් දෙන විදිහට වැඩ ටික කරගෙන යන්න පුලුවන් රැකියාවක් කරන කෙනෙකුට. හැබැයි ව්‍යාපාරයක් කරන කෙනෙකුට එහෙම බෑ. එයාට නිර්මාණශීලී චින්තනයක් වගේම ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් මානසික ශක්තියක් අත්‍යවශ්‍යයි. මොකද ව්‍යාපාරයක් පටන් ගත්තු ගමන් ලාභයක් ලැබෙන්නේ නෑ. ලාභයක් ලැබෙන්නත් පුළුවන්… පාඩු වෙන්නත් පුළුවන්. බැරි වෙලාකවත් පාඩුවක් ලැබුණොත් ඒක දරාගෙන, අල්ලගෙන ඉන්න පුළුවන් මානසික ශක්තියක් තියෙන්න ඕනේ. මෙන්න මේ ටික විස්තරාත්මකව හොයා ගන්නවා කියලා කියන්නේ ඇයි මම ව්‍යාපාරයක් පටන් ගන්නේ? කියන ප්‍රශ්නයට ගැඹුරු පිළිතුරක් හොයාගන්න එක.

මොනවද මං ව්‍යාපාරය විදිහට කරන්නේ ?

මෙන්න මේක සලකා බලන එක අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද? මුලින්ම ව්‍යාපාරයකට අත ගහන කෙනෙක් නම් මිනිස්සුන්ට අත්‍යවශ්‍ය හෝ අවශ්‍ය කාණ්ඩයේ දෙයක් තෝරාගන්න එක, ඉක්මනින් වෙළඳපොළ අල්ලා ගන්න පුළුවන් කාරණාවක්. නමුත් “තිබුනොත් හොඳයි – Nice to have” කාණ්ඩයේ දෙයක් මුලින්ම ව්‍යාපාරයක් විදියට කරන්න හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන් ඒ ගැන දෙපාරක් හිතල බලන්න වෙනවා. ඒක නිසා අත්‍යවශ්‍ය කාණ්ඩයේ දෙයක් ව්‍යාපාරයක් විදිහට මුලින්ම අත ගහනවා නම් හොඳයි. ඒ අතර ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් හදන්න අවශ්‍ය වන දේවල් (හාඩ්වෙයාර් එකකින් ගන්න පුලුවන් ගල්, වැලි, සිමෙන්ති වගේ දේවල්…) ඒ අතර ප්‍රමුඛයි. කොයි තරම් කෑම කඩ තිබුනත්, ඒක හරියට කරන කෙනාට බිස්නස් එක තියෙනවා. කොයිතරම් රෙදිකඩ තිබුණත්, ඒක හරියට, ආකර්ෂණීය විදිහට කරන කෙනාට අනිවාරෙන්ම බිස්නස් තියෙනවා. කොයි තරම් හාඩ්වෙයාර් තිබුනත් “අඩු ලාභය – වැඩි වෙළදාම” සංකල්පය මත යන කෙනෙකුට අනිවාර්යෙන්ම බිස්නස් තියෙනවා. මෙන්න මෙහෙම තමුන් දන්න, තමුන් ආස කරන දෙයක් පොඩි ලාභයක් තියාගෙන මුල් කාලේ හොඳ වෙළෙඳ පොළක් ගොඩනඟා ගන්න පුළුවන්.

මම කොහොමද ව්‍යාපාරයක් පටන් ගන්නේ ?

මම මූලික ප්‍රාග්ධනයක් යොදවනවා ද? එහෙම නැත්නම් ලොකු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන දෙයක් ව්‍යාපාරයක් විදියට පටන් ගන්නවා ද? එහෙම නැත්නම් මූලික ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්න පුළුවන් කෙනෙක් සම්බන්ධ කරගන්නවා ද? මගේ අත්දැකීම් අනුව නම් පළමු කාණ්ඩ දෙකෙන් එකකට යන්න පුළුවන් වුනොත් ගොඩක් හොඳයි. මොකද මූලික ප්‍රාග්ධනය තව කෙනෙක් ආයෝජනය කරලා ව්‍යාපාරය ආරම්භ කළොත් ඒක දියුණු වෙනකොට ඒ පිළිබඳ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. එහෙමනම් ගිවිසුමකට එළඹීම වැදගත්. නැත්නම්, එයා ඒක ගැන ප්‍රශ්න ඇති කළොත් ඒක ව්‍යාපාරය කඩා වැටීමට බලපාන්න පුළුවන්. ඒක නිසා, අවශ්‍ය මුදල මූලිකව සපයා ගන්න පුළුවන් නම්, තමන්ම ව්‍යාපාරයක් පටන් ගන්න එක හොඳයි. එහෙම නැත්නම් ලොකු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන ව්‍යාපාර මේ ලෝකේ ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් හෙව්වොත් ඕනතරම් හොයාගන්න පුළුවන්.

නිකමට හිතන්න කොළකැඳ විකුණන එක ව්‍යාපාරයක් විදියට කරනවා කියලා. ලොකු ප්‍රාග්ධනයක් ඕනේ වෙන්නෙ නෑ. දවසකට පැය හයක් විතර අයින් කරලා හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක ආකර්ෂණීය විදිහට, හරියට කරන්ඩ ඕනේ. ලංකාවේ රුපියල් 30.00 ඉඳලා රුපියල් 100.00 වෙනකල් කොළකැඳ විකුනනවා. වර්ගය අනුව, තැන අනුව, ඉදිරිපත් කරන විදිහ අනුව මේ මිල ගණන් වෙනස් වෙනවා. හැබැයි යොදවන්න තියන්නේ බොහොම පුංචි මුදලක්. කොළ කැඳ විකුණන කෙනෙක් හිතන්න ඕන දේවල් මොනවාද? එක වර්ගයක් හදනවද? හෝ වර්ග කීපයක් හදනවාද? (කලවම් කැඳ, ඖෂධීය කැඳ, කුරක්කන් කැඳ, සුදුළූණු කැඳ, කරපිංචා කැඳ වගේ…) කොතන තියාගෙනද විකුනන්නේ? පාර අයිනේ තියාගෙන විකුණනවද එහෙම නැත්තං ස්ථිරව තැනක් හදා ගන්නවාද ? (කලබල වෙන්න එපා… ස්ථිරව තැනක් හදා ගත්තත්, ලොකු මුදලක් යන්නැති වෙන්න හදාගන්න පුළුවන්. මැටි ටිකක් ගහල, පොල් අතු ටිකක් හෙවිල්ලල, හරි අපූරුවට ලස්සනට හදාගන්න පුළුවන්.) කැඳ පිළිගන්වන භාජනය මොකක්ද ? හැම තැනම කැඳ දෙන්නේ  වීදුරුවක දාලා. ඒත් මම තැන් කීපයකම දැකලා තියෙනවා කෝප්පයක් වගේ මැටි භාජනයක හරි අපූරුවට කැඳ පිළිගන්වනවා. හොඳ කිතුල් හකුරු කෑල්ලක් එක්කලා ටිකක් උණුවෙන් පිලිගන්වන්න පුළුවන් නම්, අනිවාර්යෙන්ම ව්‍යාපාරය සාර්ථක වෙනවා. පාර අයිනේ  තියෙන හෝ හේත්තු කරන බෝඩ් එකේ තියෙන ආකර්ෂණීය බව වැදගත්…

ඊළඟට හිතන්න ඕන දේවල්… පළවෙනි දවස ඇතුලත හෝ පළවෙනි සතිය ඇතුළත, කැඳ කෝප්ප කීයක් විකුණන්න බලාපොරොත්තු වෙනවද ? පටන් අරගෙන ටික දවසක් යනකොට, අපි හිතමු දවසකට රුපියල් රු.40.00 ගණනේ කොළ කැඳ වීදුරු 50ක් විකුණන්ට සැලසුම් කරනවා කියලා. එහෙම කළොත් දවසක ආදායම රුපියල්  2000.00යි. අමු ද්‍රව්‍ය වලට රුපියල් 500.00ක් තිබ්බොත් ලාභය රුපියල් 1,500.00යි. දවසකට අයින් කරන්න තියෙන්නේ පැය හයයි. ඒ පැය හය හදන්නයි, විකුණන්නයි ඔක්කෝටම. කැඳ වීදුරු සියයක් විකුණන මට්ටමට ආවොත් ලාභය රුපියල් 3,000.00යි. තැන් දෙකක තියලා කැඳ වීදුරු 200ක් විකුණුවොත් ලාභය රුපියල් 6,000.00 යි. අඩු ම දවස් 25ක් විකුණන්න පුළුවන් වුනොත්, මාසික ආදායම කීයක් ද? රුපියල් 150,000.00ක්. හරියට බැලුවොත් විධායක නිලධාරියෙකුගේ හෝ කලමනාකරුවෙකුගේ වැටුප. තව ටිකක් කල්පනා කලොත්… ටිකෙන් ටික දවසින් දවස විකුණන වීදුරු ප්‍රමාණය වැඩි වෙනකොට පොඩියට උදේ කෑමත් විකුණන්න පටන් ගන්නවා. රොටී, හැලප, ලැවරියා, ඉඳිආප්ප, පිට්ටු, කඩල, කවුපි… වගේ දේවල්. ටිකෙන් ටික උදේ කෑම බෙදාගෙන කන්න පුලුවන් බුෆේ (Buffet) එකක් පටන් ගන්නවා. ඊළඟට උදේට කැඳ සහ කෑම විතරක් හදලා විකුණන්නේ  නැතුව, හැන්දෑවට සුප් හදලා විකුණන්න පටන් ගන්නවා. දැන් තේරෙනවා නේද “තිතක් වගේ පහළවෙන ව්‍යාපාර අදහසක් බෝලයක් කර ගන්නේ කොහොමද? කියලා…

කවුද මගේ භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්ඩ එන ඉලක්කගත පාරිභෝගිකයන් ? ටිකක් ලොකුවට හිතුවත් එහෙම Target Group (TG) එක. මගේ ඉලක්කගත වෙළදපොල ආකර්ෂණය කරගන්න මං පාවිච්චි කරන උපක්‍රම මොනවාද? ඒගොල්ලන්ට ළඟා වෙන්න පුළුවන් ක්‍රම මොනවද?

මේ ඉලක්කගත වෙළඳපල සලකා බලන එක ඉතාමත්ම වැදගත්.  උදාහරණයක් ගනිමු. ඔෆිස් එකක් කිට්ටුව තියාගෙන කැද විකුණනවා නම්, එතනදී බොන්න (Have it) වගේම කඩදාසි කෝප්පයක ගෙනියන්නත් (Take away)  ක්‍රම ලෑස්ති කරන්න ඕනේ… මොකද උදේට හදිස්සියට කාර්‍යාලයට දුවන කොට මේ ක්‍රම දෙකටම විකුණන්න සූදානම් වෙන එක ඉතාම වැදගත්… එතකොට ඒ අය මගේ සේවාව ගැන තෘප්තිමත් නං තව තවත් අයට මාව හඳුන්වලා දෙනවා. මේක කටින් කට පැතිරෙන්න පටන් ගත්තයින් පස්සේ (Word of mouth marketing) මගේ ඉලක්කගත වෙළෙඳපොළ ටිකෙන් ටික ව්‍යාප්ත වෙනවා. ටික කාලයක් යනකොට තමුන් දැන ගන්නවා, තමන්ගේ ඉලක්ක ගත පාරිභෝගිකයන් ගේ සිතුම් – පැතුම්, රුචි – අරුචිකම්. එතකොට ඔවුන්ට ළඟා වෙන්න සහ ඔවුන් සමඟ රැඳෙන්න අළුත්, අළුත් උපක්‍රම පාවිච්චි කරන්න පුලුවන්.

මගේ භාණ්ඩය හෝ සේවාව විකුනන්නේ කොහෙද? මම කඩයක් විවෘත කරනවා ද? එහෙම නැත්නම් පාර අයිනේ  තියාගෙන විකුණනවද?

එහෙම නැත්නම් Online Market එකක් හදා ගන්නවා ද? පහුගිය දවස් වල Facebook උනන්දුවෙන් බැලුවනම් ඉඳිආප්ප, කරවල, ජෑම් වර්ග, පිරිසිදු පොල්තෙල්, අච්චාරු, මාළු ඇඹුල්තියල්, කේක් වගේ කෑම හරි අපූරුවට Online විකුණනවා බලාගන්න තිබුණා.

කඩයක් විවෘත කරනවානම්… උදාහරණයක් විදිහට කීපයක්ම බලමු. පොත් සාප්පුවක් දානවා නම් එක්කෝ පාසලක් කිට්ටුව, නැත්නම් ටියුෂන් ක්ලාස් වැඩි ප්‍රමාණයක් පවත්වන හරියකට කිට්ටුව දාන්න ඕනේ… නිකමට හිතන්න මම කෑම කඩයක් විවෘත කරනවා කියලා එතකොට බයික් එකකින්, කාර් එකකින් එන මනුස්සයෙකුට නතර කරගන්න පුලුවන් තැනක වෙන්න ඕනේ, පලතුරු වෙළෙඳ සැලක් වුණත් එක්කෝ හන්දියක් කිට්ටුව නැත්නම් සෙනග ගැවසෙන ප්‍රධාන පාරකට මුහුණලා වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඉස්පිරිතාලයක් ගාව නැත්නම් පන්සලක් හෝ දේවාලයක් කිට්ටුව වෙන්න ඕනේ… අන්න ඒ වගේ හිතන්න ඕනේ…

මම විකුනන්නේ කවදද? කොයි වෙලාවටද? පොත් සාප්පුවක් නම් ටිකක් උදේ විවෘත කරන එක වැදගත්. පලතුරු විකුණන තැනක් නම් උදේමද? එහෙම නැත්නම් උදේ 9.00ට විතර විවෘත කරපුවහම ඇතිද? ඒක තැන අනුව… ඊලඟට හිතන්න කැඳ විකුනනවා කියලා. ඒක දවල් 12 ට විකුණන්න බෑනේ… ඒක නිසා ටිකක් පාන්දර ඉඳලා වැඩේ පටන් ගන්න ඕනේ… උදේ 6.00 – 6.30 අතර සූදානම් වුනොත් වඩා හොඳයි.

ඒ වගේම ඉරිදා වගේ දවසක Office එකක් ලඟ කැඳ විකුණලා වැඩක් නෑනේ. ඉරිදා  දවසක විකුණනවා නම් එක්කෝ ඇවිදීමේ මංතීරුවක් ලඟ. මෙන්න මේ වගේ තමුන්ගේ පාරිභෝගිකයන් වෙත ළඟා වෙන්න පුළුවන් දින සහ වෙලාවල් බලලා ඒ අනුව කටයුතු කරන එකත් ව්‍යාපාරයක සාර්ථකත්වයට හේතුවක්…

එහෙම නම් ව්‍යාපාරික අදහසක් වේවා, වෙනත් ඕනෑම අදහසක් වේවා, සාර්ථක කරගන්නනම් ඒක කරන මානසිකත්වයෙන් දවසින් දවස තව තවත් රාමුවෙන් පිටතට හිතන්න වෙනවා. ඒක හරියට එක තිතක් වටේ රවුමට තව තිත් කීපයක් තියපුවහම තිතේ ප්‍රමාණය ලොකු වෙලා අන්තිමට බෝලයක් දක්වා විශාලනය කරන්න තියෙන ඉඩකඩ වගේ… මෙන්න මේ වගේ ටිකෙන් ටික හිතුවොත්, ඒ වගේම ටිකෙන් ටික ක්‍රියාත්මක වුනොත් ව්‍යාපාරික වේවා වෙනත් ඕනෑම අදහසක් වේවා සාර්ථක කරගන්න අපිට පුළුවන්…

ටිකක් හිතන්න !

ටිකක් යොමුවෙන්න !

✍️ හොඳ සැලසුමක්

හදාගන්න.

ප්‍රතිඵල ලැබෙන අවස්ථාව වෙනකල් ඒ සැලසුම “ඉවසීමෙන්” ක්‍රියාවේ යොදවන්න.

ලෝකේ  අනිත් හැමෝම “සැලසුමක් ඇතුව” කරන දේවල් හරි යනවා නම්, තමුන්ට  විතරක් වරදින්න විදිහක් නෑනේ…

CharityShop එකේ ඉන්න හැමෝම, විශේෂයෙන්ම ගම් වල ඉන්න අය අදම ඔන්ලයින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒ සඳහා මග පෙන්වීම අපි අද කරනවා. නිවසේ සිටින අයට මෙය ආරම්භ කිරීමට පහසුයි. Dropshipping ආකාරයේ ව්‍යාපාරයක් කිසිම වියදමක් නැතිව හෝ රු.3000-4000ක වියදමින් ආරම්භ කරමු. ගමේ මිනිස්සුට අවශ්‍ය භාණ්ඩ සහ සේවා ඔබ හරහා ලබාදෙන්න කටයුතු කරමු. කැමති අය ඉන්නවනම් ඔබේ දිස්ත්‍රික්කය, ප්‍රධාන නගරය සහ නගරයේ සිට ඔබේ ගමට ඇති දුරද කමෙන්ට් කරන්න.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූනි27 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූනි28 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

Photograph Used for promotional purposes only ! All rights reserved to SamajaSathkara.lk

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments