හඳුන්වාදෙන “සමාජසත්කාර ප්‍රජා වෛද්‍ය මධ්‍යස්ථානය” | Introducing “Samajasathkara.lk Community Health Care Center”

by | May 22, 2021 | සුභසාධන | 0 comments

හඳුන්වාදෙන “සමාජසත්කාර ප්‍රජා වෛද්‍ය මධ්‍යස්ථානය” | Introducing “Samajasathkara.lk Community Health Care Center”

සමාජසත්කාර සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් නවතම සුවිශේෂී සේවාවක් වන සමාජසත්කාර ප්‍රජා වෛද්‍ය මධ්‍යස්ථානයක් (Samajasathkara Community Health Care Center) පිහිටවීමට අප බලාපොරොත්තු වනවා. මෙම ව්‍යාපෘතියේදී මූලික අවධානය යොමු කෙරෙන්නේ ඉතාමත් දුශ්කර පෙදෙස් වෙතයි.

මෙහි පළමු පියවර ලෙස මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදි කිරීමට අප රාජාංගනය ප්‍රදේශය තෝරාගනු ලැබුවා. රාජාංගනය ප්‍රදේශයේ රජයේ රෝහල පිහිටා තිබෙන්නේ ඉතාමත් දුරින් ඇතුල් මාර්ගයක. ඒ නිසාවෙන් මේ ප්‍රදේශයේ බහුතරයක් දෙනා හට අසනීප තත්වයන් වලදී මුළු දවසම ගෙවා ගෙන රෝහල වෙත යාමට සිදු වේ. එසේ නැතහොත් වෙනත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත සවස් කාලයේ ගොස් මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වනවා.

මෙය දවසේ වියදම සොයා ගන්නා කුලී ආදායම් ලබන පවුල් වල පිරිසට ඉතාමත් දුෂ්කර අපහසු දෙයක්. ඔවුන් මුළු දවසම රෝහල වෙත යාමට ගත කළහොත් එදා වේල සපුරගන්න ඔවුන්ගේ දවස් පඩිය අහිමි වනවා. පෞද්ගලික වෛද්‍ය සේවාවක් වෙත ගියහොත් දවසට ලැබුන පඩියෙන් කොටසක් අහිමි වනවා. මේ නිසාවෙන්ම අසනීප තත්ව වලදී ප්‍රතිකාර ලබා ගැනීමට යාමෙන් වැළකී සිටීමට ඔවුන් උත්සාහ කරනවා.

සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් හමුවට ගිය විට රෝග විනිශ්චය සඳහා වෛද්‍ය ගාස්තුවක් අය කරයි. අපි එය උදාහරණයක් ලෙස රු.300ක් ලෙස ගණනය කරමු. බෙහෙත් වලට රු.200ක් වැයවෙනවා යැයි සිතමු. එවිට රු.500ක් වැයවේ. එවිට සියලුම වැඩ පසෙකලා දවසේ වැටුපට වැඩ කරන කෙනෙක් රෝහලට ගියහොත් දවසේ සම්පූර්ණ ආදායමම අහිමිවේ. සවස් කාලයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගියහොත් දළ වශයෙන් රු.500ක් වැයවේ. නමුත් සමාජසත්කාර ප්‍රජා වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණියහොත් ඒ මුදලද ඉතිරිවේ. එය සිදු වන්නේ මෙසේය.

මෙම ගැටළුවට විසඳුමක් වශයෙනුයි අපි සමාජසත්කාර ප්‍රජා වෛද්‍ය මධ්‍යස්ථානය හඳුන්වා දීමට තීරණය කළේ. මේ සඳහා ඉතාමත් විශ්වාසවන්ත මෙන්ම බොහෝ කළක පටන් හඳුනන මා හිතවත් MBBS උපාධිධාරී වෛද්‍යවරයෙක් එහි වෛද්‍ය සේවාව ලබා දීමට කැමැත්තෙන් සිටිනවා. ඒ අනුව ඔහුගේ සහයෝගය ඇතුව මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට බලාපොරොත්තු වනවා. සියල්ලටම පෙරාතුව ගම්වාසී සියලු දෙනාම දැනුවත් කර අවශ්‍ය  අනුමැතිය ලබා ගත යුතු වනවා. ඉන් පසුව මෙය ආරම්භ කළ හැකියි.

මෙහිදී අපගේ වෛද්‍ය සේවාව අතිශයින්ම අඩු ආදායම් ලාභී අසරණ පවුල් වෙත පමණක්ම ලබා දිය යුතු නිසාවෙන් අප විසින් මෙය පහත සඳහන් ක්‍රියා පටිපාටිය තුළ පමණක් සිදු කිරීමට බලාපොරොත්තු වනවා.

  1. පළමුවෙන් මෙම සේවාව ලබා ගැනීමට කැමති ගම්වාසී සියළු දෙනාම විශේෂ අයදුම්පතක් පිරවිය යුතුයි. එය අප විසින් ප්‍රචාරයක් ලබාදී බෙදාහරිනවා.
  2. එහිදී ග්‍රාමසේවක මහතාගෙන් ලබාගන්නා සහතිකපතක්ද අවශ්‍ය වනවා. එය වෙනුවෙන් අයදුම්පතෙහි කොටසක් වෙන් වෙනවා.
  3. ඉන් අනතුරුව අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ එහි සිටින වෛද්‍ය මහතා වෙත එම අයදුම්පත් භාරදිය යුතුයි.
  4. පසුව අප විසින් සියළුම අයදුම්පත් මනාව විශ්ලේෂණය කොට විවිධ සාධක යටතේ ඔවුනට ලකුණු ලබා දෙනවා.

(දරුවන් තිදෙනෙකුට වැඩියෙන් සිටින්නේ නම්, පාසල් යන වයසේ දරුවන් සිටී නම්, ආබාධිත අයෙකු පවුලේ සිටී නම්, ආදායම් මාර්ග කිසිවක් නොමැති නම්, ඉටි කොළ වැනි දෑ වලින් වට කරගත් ඉතාමත් දුක්බර ජීවිත ගත කරන්නේ නම් යනාදී වශයෙන් විවිධ කරුණු කාරණා යටතේ එකිනෙකට වෙනස් ලකුණු ප්‍රමාණයන් ඒ ඒ කරුණු සඳහා ලබා දෙනවා. මෙම ලකුණු ලබාදීමේ මූලික අරමුණ වන්නේ වඩාත් අසරණ භාවයට පත්ව සිටින පවුල් වෙන්කර තෝරාගැනීමයි.)

  1. පසුව මෙසේ තොරාගත් පවුල් පිළිබඳ ඔවුන් ලබා දී ඇති තොරතුරු වල සත්‍ය අසත්‍ය බව සනාථ කරගැනීමට අප කටයුතු කරනවා.
  2. එහිදී අවසන් වශයෙන් තෝරාගත් පවුල් වලට අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය මඟින් සායනික වාර්තා පොතක් පවත්වාගෙන යනු ලබන අතර තෝරාගත් සෑම අයෙකුටම සාමාජික කාඩ්පතක්ද ලබා දෙනවා.
  3. සාමාජිකත්වය ලද අයට වෛද්‍යවරයා සිටින ඕනෑම අවස්ථාවකදී පැමිණ සම්පූර්ණයෙන්ම නොමිලේ* බෙහෙත් ලබා ගත හැකියි.

රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර නියම කිරීම මෙන්ම ඖෂධ ලබා දීම යන සියල්ල නොමිලේ සිදු කෙරේ.

  1. එහිදී හඳුනාගන්නා විශේෂ සැත්කම් සිදු කළ යුතු රෝගීන් වෙතොත් සැත්කම සඳහා වැය වන මුදල ලක්ශ 5 ක් අතර මුදලක් නම් මුළු මුදලම ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් “ප්‍රාර්ථනා Fund” ව්‍යාපෘතිය යටතේ ලබා දීමට අප කටයුතු කරනවා. ලක්ශ 5 ට වැඩි මුදලක් සැත්කම සඳහා අවශ්‍ය වේ නම් උපරිම ලක්ශයක මුදලක් ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් “Project Care” ව්‍යාපෘතිය යටතේ ලබා දීමට කටයුතු කරනවා.
  2. එසේම රෝගීන් සඳහා ප්‍රතිකාර වෙනුවෙන් ඔවුන්ගේ නීරෝගී සුවය රැකගැනීම වෙනුවෙන් ලබා දෙන ප්‍රතිකාර සහ ඖෂධ සඳහා සතිපතා වැය වන මුදල ෆේස්බුක් මිතුරන්ගේ සහයෝගය ඇතුව වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ලබාදීමට බලාපොරොත්තු වෙනවා. සෑම සතියකටම වරක් වෛද්‍යවරයා විසින් රෝගීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු සහිත වාර්ථාවක් මා වෙත ලබාදීම අනිවාර්ය වේ. එම වාර්ථාව අනුව වියදම ගනණය කොට ෆේස්බුක් පෝස්ට් එකකින් පළ කරන අතර ඊට ඔබගේ දායකත්වය ලබා දිය හැකියි. වෛද්‍යවරයාගේ සහායිකාවක් විසින් අදාල රෝගීන්ගේ ඡායාරූප ගනු ලබනවා. පහසුව උදෙසා මේ සඳහා වෙනමම අරමුදලක්ද/තැන්පතුවක්ද පිහිටවිය හැක.

මෙම නවතම සමාජසත්කාර ප්‍රජා වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවාව Sustainable Model (තිරසාර ආකෘතියක්) එකක් ලෙස පවත්වා ගත හැකිබව අපහට මනාව පැහැදිළි වුවහොත් ලංකාව පුරා දුශ්කර පෙදෙස් ආවරණය කරමින් විශේෂ නිර්ණායක යටතේ තොරාගන්නා වෛද්‍යවරුන් යොදවා සමාජසත්කාර ප්‍රජා වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවීමට බලාපොරොත්තු වනවා.

සැ.යු : *මෙම ව්‍යාපෘතියේ මූලාකෘතිය (prototype) භාර වෛද්‍යතුමා විසින් කිසිම වෛද්‍ය ගාස්තුවකින් තොරව රෝගීන් පරීක්ෂා කරන බව කරුණාවෙන් සළකන්න. එවිට අපට ගෙවීමට සිදුවන්නේ බෙහෙත් වලට යන වියදම පමණි.

An idea by Danesh Edirisooriya

#2021මැයි22

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments