by Danesh Edirisooriya | Jun 5, 2022 | දවසේ සිතුවිල්ල
දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්
පොඩි කාලේ මොන්ටිසෝරියේ දි නැත්නම් ඉස්කෝලේ දි අපි ඕනෙතරම් තරඟෙට දුවලා ඇති. ඒ කාලේ සෙල්ලමට දුවපු අපි හුඟ දෙනෙක් අද ජීවිතේ එක්ක රේස් දුවනවා. සමහරු ට්‍රැක් එකේ දුවද්දී අනිත් ඇත්තො කන්තෝරුවල ගෙවල්වල මහපාරේ රේස් දුවනවා. අපි හැමෝම අපි වෙනුවෙන් එහෙම නැත්නම් අපේ සමීපතමයන් වෙනුවෙන් රේස් දුවනවා……
“මේ කතාව නන්නාදුනන මිනිස්සු වෙනුවෙන් දුවපු ඉලන්දාරියෙක් ගැන.”
ටෙරන්ස් ස්ටැන්ලි ෆොක්ස් ඉපදෙන්නේ කැනඩාවේ … පොඩි කාලෙ ඉඳන්ම ටෙරීගේ හීනේ තිබ්බේ පැසිපන්දු ක්‍රීඩකයෙක් වෙන්න. ඒත් එතරම් උසකුත් නැති මේ කොලුවට එච්චර හොඳට පැසිපන්දු සෙල්ලම් කරන්නත් බැහැ. කොහොමින් කොහොම හරි උත්සාහ කරලා අටේ පන්තියෙ ඉන්දැද්දි ටෙරී ඉස්කෝලේ පැසිපන්දු කණ්ඩායමට එකතු වෙනවා. හැබැයි ඒ අතිරේක ක්‍රීඩකයන්ගෙත් අන්තිමයා විදිහට. පැසිපන්දු තරඟාවලිය පුරාවටම ටෙරීට සෙල්ලම් කරන්න ලැබෙන්නේ එකම එක මිනිත්තුවයි. ඉන් පස්සෙ ආපු සරත් සෘතුව පුරාම පුහුණුවීම් කරන ටෙරී නවයේ පන්තියෙදී කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වෙනවා… විතරක් නෙවෙයි දොලහේ පන්තියෙදි පාසලේ වසරේ හොඳම ක්‍රීඩකයා බවටත් පත් වෙනවා…
පැසිපන්දුවලට වඩා ටෙරීගේ හැකියාව ඇත්තෙ දුර දුවන්න කියලා හිතන්නේ පැසිපන්දු පුහුණුකරු බොබ්. දුවන්න කිසිම ආසාවක් නැතත් පුහුණුකරුගේ කීම අහක දාන්න අකමැති හින්දා ටෙරී දුර දුවන්න පටන් ගන්නවා.
ටෙරීට අවුරුදු 18 වෙද්දි ඔහු ඉන්නේ විශ්ව විද්‍යාලයේ. දුර දිවීමත් පැසිපන්දු ක්‍රීඩාවත් දෙකම ඒ වෙද්දිත් ඔහුත් එක්ක ඉන්නවා.
ටෙරීගේ දකුණු පාදයේ දණහිසේ ඔස්ටියෝසාර්කෝමා නමින් හඳුන්වන පිළිකාවක් හොයා ගැනෙන්නේ දණහිසට පහලින් පාදය ඉවත් කිරීම හැර වෙන විකල්පයක් ඉතුරු නොකරමින්.
සැත්කමට පෙර දිනයක ටෙරී බලන්න එන්නේ ඔහුගේ විශ්වවිද්‍යාලයේ පැසිපන්දු පුහුණු කරු. ඔහු ටෙරීට ගෙනත් පෙන්වන්නේ කෘතිම පාදයක ආධාරයෙන් නිව්යෝර්ක් මැරතන් තරඟයට සහභාගී වෙච්ච ක්‍රීඩකයෙක් කතාව.
ටෙරී කියන හැටියට කැනඩාව හරහා දුවන්නට ටෙරීට මුලින්ම හිතෙන්නේ ඒ කතාව කියෙව්වට පස්සෙලු.
පාදය ඉවත්කරලා සති තුනක් යන්න කලින් කෘතිම පාදයක් උපකාරයෙන් ටෙරී ඇවිදින්න පටන් ගන්නවා.
රෝදපුටු ආධාරයෙන් ක්‍රීඩා කරන පැසිපන්දු කණ්ඩායමකට එකතු වෙලා ජාතික මට්ටමේ ජයග්‍රහණත් ලබා ගන්නවා.
පාදය ඉවත් කළත් ටෙරීගේ පිළිකාව සුව වීමේ සම්භාවිතාව 50%ක්. පුරා මාස දහසයක කීමෝතෙරපි ප්‍රතිකාරවලට මුහුණ දෙන ටෙරී එහිදී ලබන්නේ අමුතුම අත්දැකීම්. තමන් වගේම පිළිකාවෙන් දුක් විඳින බාල මහලු ගැහැණු පිරිමි බේදයකින් තොර අනන්ත අප්‍රමාණ මිනිසුන් ඔහුට එහිදි හමු වෙනවා. ටෙරී සාර්ථකව ප්‍රතිකාර නිමකළත් හැමෝටම එහෙම කරන්න වාසනාව ලැබෙන්නෙත් නැහැ.
පිළිකා ප්‍රතිකාර අවසන් වුනත් ටෙරීගෙ හිතෙන් ඒ පිළිකාවෙන් පීඩා විඳින මිනිස්සුන් අමතක කර දමන්න ලේසි වෙන්නෙ නැහැ.
කැනඩාව හරහා දුවන්න ටෙරී තීරණය කරන්නේ පිළිකාව ගැන මිනිස්සුන්ගේ අවධානය යොමු කරන්න වගේම පිළිකාවට ප්‍රතිකර්මයක් හොයා ගන්නට අරමුදල් එකත් කරන්න. ඒ වෙනවිට මිලියන විසි තුනක් ජීවත් වුණු කැනඩාවේ එක් පුරවැසියෙකුගෙන් ඩොලරය ගානේ ඩොලර් මිලියන 23ක් එකතු කරන්නයි ටෙරී බලාපොරොත්තු වෙන්නේ.
පාදය ඉවත් කර අවුරුදු දෙකක් ගිය තැන ටෙරී නැවතත් මැරතන් ධාවන පුහුණුවීම් පටන් ගන්නවා. මාස පහලොවක් තිස්සේ දවසකට සැතැපුම් 26ක් දක්වා දුවන්නට පුලුවන් වෙනතුරුම දින 101ක් ඔහු පුහුණුවීම් වෙන්නේ දිවූ මුලු දුර සැතපුම් 3000 කටත් එහා යමින්.
කැනඩාව හරහා දුවන්න යන සැලැස්ම ටෙරී කියපු වෙලාවේ ඔහුගේ අම්මා හිතන්නේ ඔහු විකාර කියවන බවයි. ටෙරී හිතුවොත් හිතනා දෙය කරනා බව හොඳටම දන්නා තාත්තා අහන්නේ එකම එක දෙයයි…..
“ඒ දිවීම පටන් ගන්නේ කවදාද කියන එකයි.”
ඒ 1980 අවුරුද්දේ අප්‍රේල් 12වෙනිදායි. එදායින් පටන්ගෙන අවු වැසි, සුළං, හිම කුනාටුත් හරහා හැම දවසකම සැතපුම් 26 ගණනේ ටෙරී කැනඩාව හරහා ධාවනයේ යෙදෙනවා. දෙපා නිරෝගී කෙනෙකුට වුවත් දැඩි වෙහෙසකර ගමනක් නිසා ටෙරී වැනි කෙනෙකුට මෙය ලොකුම අභියෝගයක් ………
සැප්තැම්බර් පලමුවෙනිදා වෙද්දි ටෙරී කැනඩාවේ ප්‍රාන්ත හයක් හරහා ධාවනයේ යෙදී අවසන්. පුරා දින 143ක් තිස්සේ ඒ වෙද්දී ටෙරී ආවරණය කර තිබුණු මුලු දුර සැතැපුම් 3339ක්.
ගමනේ තුනෙන් දෙකක් අහවරව තියෙද්දී ටෙරීට අවාසනාවන්ත ලෙස දිවීම නතර කරන්න වෙන්නේ පිළිකාව නැවතත් පෙනහළු වලින් මතු වීම නිසයි. ප්‍රතිකාර සඳහා තිබුණු අකමැත්ත නිසා ටෙරී නැවත පිළිකාව හිස ඔසවනවාදැයි බැලිමට කිසිදු වෛද්‍ය හමුවකට සහභාගී වී නැහැ…..
1981 වසරේදී පිළිකාව නිසා ටෙරී ජීවිතයට සමු දෙන්නේ විසි තුන් වෙනි උපන්දිනයට මාසයක් තිබෙද්දී…..
ටෙරී එක් රැස් කළ මුදලින් ආරම්භ කළ ටෙරී ෆොක්ස් පදනම පිළිකාවට ඔසු සොයා ගැනීමේ පර්යේෂණ සඳහා වියදම් දරනවා. හැම වසරකදීම කැනඩාව පුරා ටෙරී ෆොක්ස් අනුස්මරණ ධාවන තරඟවලින් එක් රැස් වන ආධාර මුදලත් යෙදවෙන්නේ මේ අරමුදලටයි…..
“මම හීන දකින්නෙක්. අභියෝග තරම් මම කැමති දෙයක් තවත් නැහැ.”
ඒ ටෙරීගේ ප්‍රියතම වචන……..
ඔබත් ටෙරී වගේ වෙන්න…….
හීන දකිමින් අභියෝගය වලට මුහුණ දෙන්න…..
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
CharityShop Team
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/556672629301851/
by Danesh Edirisooriya | Jun 4, 2022 | දවසේ සිතුවිල්ල
දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක්
එක්තරා කර්යාලයක ආයතන ප්‍රධානියෙක්ට උවමනා වුණා තමන් වටා සිටින සේවකයන්ගේ අවංක භාවය පරීක්ෂා කරන්න වගේම තමන්ගෙන් පසුව මේ ආයතනය භාර දෙන්න පුළුවන් විශ්වාසවන්ත සේවකයෙක් තෝරාගන්න..
ඔහු එක් දෙයක් කල්පනා කරා .තමා ලග සිටින දක්ෂ තමාට අවංකයැයි මෙතෙක් සිතා සිටි තමා සමීපව ඇසුරු කරන සේවකයන් පස් දෙනෙක් කැදවා ඔහු මෙහෙම කිව්වා ..
“මගෙන් පස්සේ මේ ආයතනය ඔබ පස් දෙනාගෙන් කෙනෙකුට භාර දෙන්න මම තීරණය කළා ”
ඔවුන් සතුටින් එකිනෙකාගේ මුහුණු බලාගත්තේ ඒ තමා වේදැයි යන හැගීමෙන්…
” මම ඔබලාට එක අභියෝගයක් භාර දෙනවා මේක හරියට කරන්න ඕන ”
ඔවුන් පස් දෙනාම එකග වුණා එම අභියෝගය බාර ගන්න .එම නිසා ආයතන ප්‍රධානියා තමන්ගේ සේවකයන් පස් දෙනාට එකම ජාතියේ බීජ පහක් දෙනවා…
” මේ තියෙන බීජ පැළ කරලා මට ගෙනත් දෙන්න ඕන .පැළය ඉතාම සරුවට වැඩුණු කෙනාට මම මේ ආයතනය භාර දෙනවා .මම ඔබට අවුරුද්දක් කල් දෙනවා ”
ඔවුන් ඉතා කැමැත්තෙන් එය භාර ගෙන තමන්ගේ පවුලේ අයත් එක්ක සුදුසු බදුනක් තෝරගෙන මෙම බීජය පැළ කරනවා .සතිය දෙක තුන මාසෙ ගෙවුනත් මොවුන්ගේ බීජ පැළ වුනේ නෑ .අනිත් හතර දෙනාම එකිනෙකාට හොරෙන් ඒ ජාතියේම වෙනත් බීජ පැළ කරනවා .එක් අයෙක් පමණක් වෙනත් බීජයක් පැළ නොකර තමන්ට ස්වාමියා දුන් බීජයම පැළ වනතුරු බලාගෙන ඉන්නවා .පරීක්ෂණ දිනය පැමිණියා..තමන්ගේ බදුන රැගෙන එන ලෙස ප්‍රධානියා මොවුන් ට දැනුම් දුන්නා .බීජය පැළ නොවුණු කෙනා බොහෝ දුක් වුණා.නමුත් ඔහුගෙ බිරිද ඔහුට මෙහෙම කිවුවා..
“මේ බීජය පැළ වුණේ නැතුවට කමක් නෑ ඔයා මේක අරන් යන්න .බොස්ට ඇත්තම කියන්න .ඔය ආයතනය ඔයාට නැති වුනත් ඔයාගේ රැකියාව නැති වෙන්නේ නෑ .අපි එන දේකට මුහුණ දෙමු ” කවුරු නැතත් තමුන්ගේ බිරිද මේ අවස්ථාවේ තමන් සමග සිටින නිසා ඔහු පැළ නොවු බදුනත් රැගෙන ආයතනයට පැමිණියා .අනිත් හතර දෙනාගෙම පැළ ඉතා සරුවට වැඩිලා තිබුණා.ආයතන ප්‍රධානියා සේවකයෝ පස් දෙනා ගෙන්නුවා…
“.ඔබේ පැළ දැන් පෙන්වන්න ” අනෙක් හතර දෙනා බොහොම සතුටින් තමන්ගේ පැළය පෙන්නුවා .ප්‍රධානියා බොහොම සැලකිල්ලෙන් පැළ දෙස බලා
“මේ මම දුන්න ඇටයම නේද ” ඇසුවා
“ඔව් ” යැයි හතර දෙනාම හිස වැනුවා…
හිස් බදුනක් ඇති සේවකයගෙන් ප්‍රධානියා ඇහුවා ..
“ඇයි ඔබට මොකද වුණේ ”
“මට දුන්න බීජය පැළ වුනේ නෑ ” ඔහු ඇත්තම කිව්වා..
“ඔව් ඇත්ත පුතා ඒක පැළවෙන්න විදිහක් නෑ .මොකද මම ඔයාලා පස් දෙනාටම දුන්නේ බොල් ඇට පහක් .එක්කෙනෙක් ඇර අනිත් ඔක්කොමලා බොරු කරලා තියෙන්නේ.මම තෝරාගත්තා මට කවුද අවංක කියලා ”
ඉතිං …..
ඇත්ත තිත්ත උවත් එය ඔබව සාර්ථකත්වය කරා ඔසවා තබයි…..
එබැවින් ඔබේ ජීවිතයෙන් බොරුව අතු ගා දමා සෑම විටම සත්‍ය කරපින්නාගෙන සාර්ථකත්වය කරා පිය නගන්න….
CharityShop වලට ගොඩක් දෙනා අඩුවෙන් එකතු වෙන්නේ අපි ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිසා. බොරු හීන පෙන්වන්නේ නැති නිසා. නමුත් ඇත්ත තේරුම් ගන්නකොට ඔබ ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්…
CharityShop එක්ක එකතු වෙන්න…
ඉගෙන ගන්න…
ආදායම් උපයන්න…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
CharityShop Team
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/556178982684549/
by Danesh Edirisooriya | Jun 3, 2022 | දවසේ සිතුවිල්ල
දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්
සිතේ බලය
අපි අපේ විදිය අනුව සිතට යම් යම් සීමා පනවගෙන තියෙනවා.. අපි අපි වටා සීමා වැටක් සලකුණු කරගෙන තියෙනවා..හොදට හිතලා බලන්න..අපි මොන තරාතිරමක අයෙක් උනත් අපිට පුලුවන් දේ සහ බැරි දේ යනුවෙන් කොටස් දෙකක් වෙන් කරගෙන ඉන්නවා. අපි අපිට පුලුවන් දේ පමණක් කරන්න කටයුතු කරනවා.. අපේ සමාජයේ මතයක් තියෙනවා.. උබ කරන්න ඕන උබේ තාත්තා අම්මා කරපු දේ උපේ පවුලේ අනික් මිනිස්සු කරපු දේ.. උබේ ගමේ උන් කරපු දේ.. උබේ වර්ගේ උන් කරපු දේ.. මේක අපි පොඩි කාලේ ඉදලම අපේ ඔළු වලට දාන දෙයක්..
හිතලා බලන්න මේ සීමාව පහු කරන්න එක උත්සාහයක් හරි ගත්තොත් ඔබට අහන්න විදින්න වෙන දේ……????
“ඇගිල්ලේ තරමට ඉදිමියන්.. උඩ පැන්නොත් බිම වැටෙන්න වෙනවා..උබලට පුලුවන්ද ඕවා කරන්න..”
අපි ලෝක මට්ටමෙන් ලෝකයට බලපෑමක් කරපු පුද්ගලයන් ගැන හිතලා බලමු. අපේ අසල්වැසි රට ඉන්දියාවේ මහත්මා ගාන්ධි ඉතා කෙසග සිරුරක් හිමි සාමාන්‍ය මනස්සයෙක්..ඔහුගේ හැකියාවෙන් ශක්තියෙන් සමස්ථ භාරතයම අවදි කරලා එකදු ලේ බිදුවක් හෝ නොසෙල්වා ඉන්දියාවට නිදහස ලබා ගන්න අරගල කරා.. හිරි නොබසින අධිරාජ්‍යය නමින් විරුදාවලිය ලත් ලෝකයේ එවකට බලවත්ම රාජ්‍යයට මහත්මා ගාන්ධි තුමාගේ අරගලය ඉදිරියේ පසුබා ඉන්දියාවට නිදහස ලබා දෙන්න සිද්ද උනා..
අපි ගමු ඇමරිකාවේ හිටපු ජනප්‍රිය ජනාධිපතිවරයකු වූ බැරක් ඔබාමා.. එතුමා අප්‍රිකන් සම්බවයක් සහිත කළු ජාතිකයෙක්.. ඉතිහාසයේ පළමු වරට ඇමරිකා එක්සත් ජනපදයේ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහු තේරි පත් වෙනවා..ඔහු ඔහුට හිමි වාර දෙකම ජනාධිපති ධූරය හොබවා විශ්‍රාම යනවා….
අපි ගමු ලෝක පූජිත විප්ලවවාදී අර්නස්ටෝ චේ ගුවේරා.. ඔහු ඇදුම රෝගයෙන් නිතර පීඩා වින්ද සාමාන්‍ය වෛද්‍යවරයෙක්.. නමුත් ඔහු ඒ සියල්ල පසෙකලා පීඩිත පංතිය වෙනුවෙන් අරගල කිරීමට තීරණය කරා..අද චේ කියන්නේ සමාජවාදී විප්ලවයේ සංකේතය..
නෙල්සන් මැන්ඩලා තම රටවෙච්ච දකුණු අප්‍රිකාව යටත් කරගෙන හිටපු සුදු පාලකයන්ට එරෙහිව අරගල කිරීමේ මාවත තෝරා ගත් පුද්ගලයෙක්.. ඔහු ඒ නිසා වසර විසි හතක් අඛණ්ඩ සිර දඩුවමකට පවා ලක් උනා..නමුත් ඔහු දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා වෙන එක කාටවත් වලක්වන්න බැරි උනා..
මම ඔය ඉහත දක්වපු විශිෂ්ට පුද්ගලයන් කවුරුවත් අසාමාන්‍ය ශරීර ශක්තියක් හෝ වෙනත් පුද්ගල අසාමාන්‍ය තත්වයක් රැගෙන මෙලොවට ආ අය නොවෙයි..ඔවුන් තුළ තිබුණ එකම අසාමාන්‍යතාවය තමයි ඔවුන්ගේ සිත යම් සීමාවකට යටත් නොකර සිටීම..මහත්මා ගාන්ධි හිතුවනම් මම හරි පොඩි කෙසග ශරීරයක් තියෙන මනුස්සයෙක් “මට පුලුවන්ද ඔය තුවක්කු බට උස්සගෙන වෙඩි තියාගෙන එන සුද්දෝ එක්ක හැප්පෙන්න…. ලෝකෙන් බාගයක් යටත් කරගෙන ඉන්න සුද්දෝ එක්ක හැප්පෙන්න මම බල්ලෙක් වගේ මරලා දායි ඊට හොදයි පාඩුවේ මම දන්න පෙරකදෝරු රස්සාව කරගෙන ඉන්නවා ” කියලා ..අද අපිට මහත්මා ගාන්ධි කෙනකු ගැන අහන්න ලැබෙන්නේ නෑ…ඒ වගේම තමයි කලු ජාතිකයෙක් වෙච්ච ඔබාමා හිතුවනම් “මට පුුලුවන්ද සුදු හමක් තියෙන බහුතර ඇමරිකානු ජනතාවගේ ජනාධිපති වෙන්න වර්ණබේදවාදයේ තිබිරි ගෙය වෙච්ච ඇමරිකාවේ ජනාධිපති වෙන්න” කියලා….එහෙම හිතලා තමන්ගේ හිතට සීමාවක් දාගෙන ” මම ඔය ලැබුණ ආණ්ඩුකාර කමක් සෙනට් මන්ත්‍රී කමක් කරගෙන ප්‍රාන්ත නායකයෙක් වෙලා ඉන්නවා..” කියලා.. අද ලොකයක් කතා වෙන බැරක් ඔබාමා බිහි වෙන්නේ නෑ..
ඉතින් පැහැදිලියි නේ අද ඔබ ඉන්න තත්වේ අද ඔබ ගෙවන ජීවිතය ඔබ ලබපු සියල්ලක්ම ඔබේ සිතිවිලි වල බලය හෝ දුර්වලතාවය බව..ඔබේ සිතීමේ පරාසය කොතරම්ද එය මේ මොහොත වන විට ඔබ ඉදරිපිට දෘශමාන වන යථාර්තය බව තේරුම් ගන්න..
මේ මොහොතේ ඔබේ සිතේ පවතින තත්වයේ නිර්මාපකයා ඔබම තමයි එය වෙන අයෙකගේ හෝ කිහිප දෙනෙකුගේ නිර්මාණයක් නොවෙයි..
මගේ යාලුවෙක් කියපු කතාවක්……….
මචං මම සාමාන්‍ය පෙළ ලියලා ඉවර උනාට පස්සේ මගේ තාත්තා මට වඩුවැඩ උගන්වන පාසලක පුහුණුවකට අයදුම් කරන්න අයදුම් පත්‍රයක් ගෙනල්ලා දුන්නා.. මොකද අපේ තාත්තට පොඩි හරි විශ්වාසයක් තිබුණේ නෑ මම සාමාන්‍ය පෙළ සමත් වෙයි කියලා..මම ඒ අයදුම් පත ඉරලා විසි කරා.. මට ඒ වෙලාවේ දැනුණේ හරි දුකක් මම කවදාවත් මගේ ජීවිතේ ඒ තරම් පොඩි තැනක හිර කරනවද මචං.. මට ඕන ගම හොල්ලන්න රට හොල්ලන්න.. හොද ගමනක් යන්න..හැබැයි ඔහු සාමාන්‍ය පෙළ විභාගයත් සමත් වෙනවා..සාම්ප්‍රදායික අධ්‍යපනය පැත්තෙන් ඔහුට එතරම් දුරක් යන්නට නොහැකි උනත් ඔහු මේ වෙනකොට ව්‍යාපාරිකයෙක් ලෙස ලොකු තැනක ඉන්නවා..
ඉතින් ඔබට ඔබව විශ්වාසනම් ඔබේ සිත හයිය කරගෙන ඔබේ ගමන යන්න.. කුරුල්ලෙක් පියඹා විත් ගසක අත්තක හිද ගන්නේ අත්තේ හයියගැන විශ්වාසය තබමින් නොව තමන්ගේ අත්තටු කෙරෙහි තබන අසීමිත විශ්වාසයෙන් කියලා කියනවා නේ..අන්න ඒ වගේ ඔබ ඔබ කෙරෙහි අසීමිතව විශ්වාසය තබමින් ඔබේ ගමන යන්න . එයට කිසිදු සීමාවක් මායිමක් තියා ගන්න එපා..සීමා මායිම් සහිත මිනිසා කූඩුවක සිර කරන ලද ගිරවෙක් වගේ..
අද මම මෙතන ඉන්නේ මම මං ගැන විශ්වාස කල නිසා. මගේ කොච්චර අඩුපාඩු තියේද? ඒත් මං ඒ අඩුපාඩු මගේ ශක්තියක් කරගත්තා. අද මං මට සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවා…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
CharityShop Team
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/555351242767323/
by Danesh Edirisooriya | Jun 2, 2022 | දවසේ සිතුවිල්ල
දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්
දේශකයෙක් දේශනය අතර තුර ඩොලර් 100ක නෝට්ටුවක් අතට ගෙන මෙයට කැමති කවුදැයි සිසුන්ගෙන් විමසුවා…. සියලු දෙනාගේ අත් ඉහළට එසවුණා.
දේශකයා ඉන්පසු මෙසේ පැවසුවා,
“මම මේ ඩොලර් 100 ඔබගෙන් කෙනෙකුට දෙන්නම්, නමුත් ඊට කලින් අපි පොඩි දෙයක් කරමු.”
දේශකයා ඩොලර් සියයේ නෝට්ටුව බිම දමා එය ඔහුගේ සපත්තුවෙන් පාගා ඇඹරීමට පටන් ගත්තා. ඉන්පසු ඔහු එය අතට ගත්තා. දැන් එය ගුලි වෙලා, ඇඹරිලා, අපිරිසිදු වෙලා.
“දැන්, තවමත් එය අවශ්‍ය කාටද❓”
දේශකයා නැවතත් සිසුන්ගෙන් විමසුවා.
පෙර පරිදිම සියලු දෙනාගේ අත් ඉහලට එසවුණා. දේශකයා සුලු නිහැඩියාවකින් නැවතත් හඩ අවදි කලා.
“ඔබ සැවොම ඉතා වටිනා පාඩමක් ඉගෙන ගත්තා. මා මෙම ඩොලර් නෝට්ටුව අපිරිසිදු කලා, මගේ සපත්තුවේ මඩ එහි තැවරිලා, ගුලි වෙලා ඇඹරිලා ගිහින් එය. ඔබට තවමත් එය අවශ්‍ය වූයේ ඒ සියලු දේ අවසානයේදීත් එහි වටිනාකම අඩු නොවීම නිසා නේද… මෙම නෝට්ටුව තවමත් ඩොලර් 1️⃣0️⃣0️⃣ක් වටිනවා.
අපගේ ජීවිතයේදීත් ඕනෑ තරම් අප බිඳ වැටී ඇති, මඩ තැවරී ඇති, අතහැර දමා ඇති. අප ගන්නා තීරණ සහ අප කල කී දෑ අනුව අපිරිසිදු තත්වයට පත්වෙලා ඇති. සමහර විට අප විසින් වගකිව යුතු නැති හේතූන් නිසා පවා එහෙම වෙලා ඇති.
ඔබ කිසි වැදගැම්මකට නැති කෙනෙක් කියලා ඔබටම හිතිලා ඇති. නමුත් කුමක් සිදු වුනත් එම සිදු වන දෙය අනුව ඔබේ වටිනාකම අඩු වෙන්නෙ නැහැ. ඔබට කිසි විටෙකත් ඔබේ වටිනාකම් අහිමි නොවනු ඇති.
පිරිසිදු හෝ අපිරිසිදු බව අනුව නොවෙයි ඔබට ආදරය කරන අය ඔබ හට වටිනාකමක් දෙන්නේ ..ඔබේ ජීවිතයේ වටිනාකම පැමිණෙන්නේ ඔබට සිදුවන දෙය අනුව හෝ ඔබ දන්නා අය තුළින් නොවෙයි…
“අප කවුරුන්ද❓” යන්න මතයි අපේ ජීවිතයේ වටිනාකම තීරණය වන්නේ.
අප කරන කියන දෑ අනුව, අප මුහුණ දෙන අත්දැකීම් අනුව අපේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒත් වටිනාකම විනාශ වෙන්නේ නැහැ. ස්වයං අවතක්සේරුව තමයි මේ ලෝකේ කෙනෙක් ලබන දරුණුම අපහාසය.
මම කොහොමද සතුටින් ජීවත් වෙන්නෙ?…..
මගේ සතුට කොහේද තියෙන්නේ ….?
මාව සතුටින් තියන්න පුළුවන් කාටද?
අවුරුදු ගාණක් තිස්සේ උත්තරයක් හොයපු ප්‍රශ්නයක් නෙමෙයි මේක ප්‍රහේලිකාවක්……….
හති දාගෙන, නිදි මරාගෙන, කුසට නිසි අහරක් නැතිව, තමන්වත් අමතක කරලා දාලා අපි හැමෝම හැල්මේ දුව දුවා හොයන දේ.. “සතුට”
” කොහොමද අපි සතුටින් ඉන්නේ ” හරි අපූරුවට පැහැදිලි කරන සරල කතාවක්….
එක්තරා දේශනයකදී එහි දේශකයා එම දේශනයට සහභාගි වී සිටි එක් යුවලක් තෝරා ගෙන, එම බිරිඳගෙන් මෙහෙම අහනවා.
“ඔබේ ස්වාමියා ඔබව සතුටින් තබනවාද?”
ඒ මොහොතේ ඇයගේ ස්වාමියා බොහොම ආඩම්බරයෙන් බිරිදගේ පිළිතුර ලැබෙන තුරු ඇය දෙස බලා සිටියා. තම බිරිඳගේ පිළිතුර නිසැකවම “ඔව්” යන්න බව ඔහු තදින්ම විශ්වාස කළා.
ඔවුන්ගේ විවාහ ජීවිතය පුරාවට ඇය කිසි දිනක කිසිදු ආකාරයක පැමිණිල්ලක් සිය ස්වාමියාට යොමු කර තිබුණේ නැහැ. එහෙත් මේ මොහොතේ,,,
ඇයගේ පිළිතුර.. “නැහැ..”
කිසිවෙකු එවන් පිළිතුරක් අපේක්ෂා කලේ නැහැ. සභාවේ සිටි සියලු දෙනා ඇයගේ ස්වාමි පුරුෂයා දෙස උපහාසාත්මක සිනහවක් පෑවා. ඔහුගේ මුහුණ හරිම නොසන්සුන්. කිසිදා තම ආදරණීය බිරිදගේ මුවඟින් අපේක්ෂා නොකළ පිලිතුරක්…
බිරිද තව දුරටත් ඇයගේ හඩ අවදි කලා.
“මගේ ස්වාමි පුරුෂයා මා සතුටින් තැබිය යුතු යැයි මා කිසිදා අපේක්ෂා කලේ නැහැ.”
“මා පැවසුවේ ඇත්ත. මගේ ස්වාමිපුරුෂයා කවදාවත් මාව සතුටින් තිව්වේ නැහැ.
එ වගේම මම බලාපොරොත්තු වුණේ නැහැ කවදාවත්ම ඔහු මා සතුටින් තැබිය යුතුය කියලා.
ඇත්තටම ඔබට පැවසීමට ඇති වැදගත්ම කාරණාව තමයි, මම ජීවත් වෙන්නේ ගොඩක් සතුටින්…”ඇය මෙලෙස පවසද්දී හැමෝගේම අවධානය තවත් වැඩි වුණා.
ඇය බොහෝම ඉවසිල්ලේ සභාවේ සියලුම දෙනාගේම ප්‍රහේලිකාව විසදමින් ඉදිරියට ගියා.
“මම කවදාවත් මගේ සතුට තවකෙකු මත රඳා පවතිනවට කැමති වුණේ නැහැ. මා සතුටින් තැබිය හැකි එකම පුද්ගලයා මා පමණක්ම බව කුඩා කල සිට මම විශ්වාස කලා. කුඩා කල පටන් ජීවිතයේ සෑම මොහොතක දීම, මුහුණ දුන් සෑම සිදුවීමකදීම මා තෝරා ගත්තේ සතුටින් ජීවත් වීමටයි. එහෙත් ඒ සෑම මොහොතකම මගේ සතුට වෙනත් කෙනෙක් මත රඳා පැවතුනා නම් ඇත්තටම මට වෙන්නේ විශාල ගැටළු රාශියකට මුහුණ දෙන්න විතරයි…..
සභාවම ඉතා නිහඩව ඇයව අසා සිටිනවා. ඇය දිගින් දිගටම සිය හඬ අවදි කළා.
“ජීවිතයේ සෑම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා. මා වටා සිටින පුද්ගලයින්, ධනය, බලය, රැකියාව මෙන්ම මගේ කායික මානසික සුවය ආදී සියලූම දේවල් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මට අවශ්‍ය වුණේ සිදුවෙන ඕනෑම දෙයකදී මා සතුටින් සිටීමටයි.
මට බොහෝ දේ අයත් වුණත්, ස්වල්ප දෙයක් අයත් වුණත් මා සතුටින් සිටියා. මා දුප්පත් වුනත්, ධනවත් වුනත් මම සතුටින් සිටියා.
මම විවාහකයි… නමුත් මා තනිකඩව සිටි කාලයේදීත් සතුටින් සිටියා. ඒ නිසා මට සතුට සොයා ගැනීම සදහා විවාහය අවශ්‍ය වුණේ නැහැ. සැබැවින්ම මම මා නිසා සතුටින්…
මෙහි යථාර්ථය, මා සතුටින් සිටින්නේ මගේ ජීවිතය පහසුවෙන් ගත කළ හැකි නිසාවෙන් නොවෙයි.
මා සතුටින් ජීවත් වෙන්නේ, පුද්ගලයකු ලෙස සතුටින් සිටීමේ තීරණය මා විසින් ගෙන ඇති නිසා. සරලව කියනවා නම් මගේ සතුටට වගකිව යුතු වන්නේ මා පමණමයි.
ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා මගේ ජීවිතය ඉතා සරලව සහ සැහැල්ලුවෙන් ගත කරන්න, ජීවත් වෙන්න. කිසිදා කිසිවෙකුට ඔබේ සතුට පාලනය කරන්න ඉඩ දෙන්න එපා.
ඔබට කුමන දේ තිබුණත්/ නොතිබුණත්… ඔබට කවරෙකු හෝ ආදරේ කලත්/ නොකලත්.. ඔබ කුමන රැකියාව කළත්…
ඔබට සෑම මොහොතකම සතුටින් සිටිය හැකියි…
ඇය සිය කතාව අවසන් කරන විට කිසිවෙකු අත්පොළසන් දෙන හඩක් ඇසුණා.. අත්පොලසන් දීම ආරම්භ කලේ වෙන කිසිවෙකු නෙවෙයි,, ඇයගේ සැමියා….
ඒ සමඟම මුලු සභාවම අත්පොලසන් හඩින් පිරී යන්නට වැඩි වේලාවක් ගත වුනේ නැහැ….
සෑම විටම ඔබ ඔබටම විශේෂ පුද්ගලයෙක් කර ගන්න …..එය කිසි විටෙකත් අමතක නොකරන්න….හැකි සෑම මොහොතකම සතුටින් සිටින්න.
ඡායාරූපය : ලංකාවේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය, විශිෂ්ටතම වෙබ් අඩවිය සහ විශිෂ්ටතම ජංගම දුරකතන යෙදුම යන සම්මාන 3 ලබාගත් අවස්ථාව…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
CharityShop Team
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/554685916167189/
by Danesh Edirisooriya | Jun 1, 2022 | දවසේ සිතුවිල්ල
ජීවිතයට ඔවදනක්…
මට කෙනෙක් හමු වෙනවා. එයා ගොඩාක් පොහොසත් කෙනෙක්. මම හිතනවා…”එයා පොහොසත් කෙනෙක්. ….ඒත් මම ?? මම දුප්පත්.
එයාට වාහන ගොඩක් තියෙනවා. ඒත් මට තියෙන්නේ මේ පුංචි වාහනේ විතරයි. ඉතින් එයාගේ ආදරේ මට ලැබෙයි ද…?”
මේ වගේ සිතුවිලි රටාවකට අපි කියනවා තමා කෙරෙහි ඇතිකරගන්නා හීනමානය කියලා. එහෙමත් නැතිනම් සෘණාත්මක මානසිකත්වය (Negative feel) කියලා. ආදරය ආකර්ෂණයට ප්‍රබලම බාධකය මේක. අපි අන් අයත් එක්ක සංසන්දනය කරනවා. නමුත් අපි අපිව සංසන්දනය කරන්නේ අනිත් අයට තියෙන දේවල් එක්ක අපිට නැති දේවල්. පුද්ගල මනසක සාමාන්‍ය තත්ත්වය තමයි ඒ.
පුද්ගලයින් ලෙස ගත්තොත් අපි විවිධයි. අපි උගත් නූගත් දේවල්, අපේ හැකියාවන්, අපි හිතන පතන විදිය හරි වෙනස්. අපිට තිබෙන නොතිබෙන දේවල් හරි වෙනස්. ඉතින් හැම තිස්සෙම මට නැති දේවල් ගැනම හිතුවොත් කවදාවත් නැති දේවල් වල අවසානයක් දකින්න බැහැ. බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ තමන්ට නැති දේවල් විතරක් දකින්න. ඉතින් තමන් කවුද? කියන එක හරියට දැනගෙන නොහිටියොත් අපිට නිතරම ලැබෙන මූලික ත්‍යාගය “ප්‍රතික්ෂේප වීම” තමයි. ඉතින් ඒ ත්‍යාගය අවශ්‍ය නෑ නේද?
අපි මෙහෙම හිතමු, මගේ (ඔබේ) තියෙන සුවිශේෂී බව මොකක්ද? මගේ රූපය, මගේ කටහඬ මටම ආවේණිකයි. මම උගත් දේවල්, මගේ දක්ෂතාවයන්, මගේ ආකල්ප, මට තියෙන භෞතික සම්පත්, මම ජීවත් වන පරිසරය, මගේ මිතුරන්, සමාජය තුළ මට තියෙන අසීමිත අවස්ථා…මේ ආදී වශයෙන් ඒ සියල්ල එක ගොනුවකට ගත්තොත් ඒ සියල්ල ඒ අයුරින්ම තිබෙන කිසිවෙක් මේ ලෝකයේ කොතැනකවත් නැහැ. ලෝකයේ ධනවත්ම පුද්ගලයාටත් ඒ දේවල් ඒ විදියටම ලැබිලා නැහැ. ලෝකයේ බලවත්ම පුද්ගලයාටත් ඒ දේවල් ඒ විදියටම ලැබිල නැහැ. ඔවුන් ධනයයෙන් හා බලයෙන් ඉහළ තැනක සිටියත් මට තිබෙන සියල්ල ඒ අයුරින්ම ඔවුන්ට නැහැ. ඉතින් මම (ඔබ) සුවිශේෂයි නේද? මේ තමයි අපි හිතන්න ඕන විදිය.
තමා තමා ගැනම ඇතිකරගන්නාවූ ආත්ම අභිමානය අන් හැමටම වඩා බලවත්. ඇයි අපි අපිව ප්‍රතික්ෂේප කරන අය පස්සෙම යන්නෙ? ඇයි අඬන්නෙ? ඇයි තමා විසින් තමා ම පහතට ඇද දමන්නේ?
කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කළොත් අපිව පිළිගන්න, අපේ ආකල්ප වලට ගැලපෙන බොහෝ දෙනෙක් ලෝකයේ ඉන්නවා. ලෝකය කියන්නෙ ඔබේ රැකියා ස්ථානය නොවෙයි. ලෝකය හරිම විශාලයි. ඒ නිසා අපි අපි ගැන හිතන රටාව වෙනස් කර ගනිමු. අපි අපි ගැනම හොඳ ආත්ම අභිමානයක් ඇති කර ගනිමු. තමන් කවුද කියන දේ හරියට හඳුනාගත්තොත් වාසනාව තමන් හොයාගෙන එනවා.
ඉතින් ශක්තිමත් වෙන්න……
ලෝකය කියන්නේ හැකියාවන්ගෙන් පිරුණු තැනක්.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
CharityShop Team
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/554011442901303/
by Danesh Edirisooriya | May 31, 2022 | දවසේ සිතුවිල්ල
දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්
මිනිසා කියන්නේ ගොඩක් දියුණු මනසකට උරුමකම් කියන පුදුමාකාර සත්ව කොට්ඨාශයක්…
අපි හැමෝටම තියෙනවා ලස්සන ජීවිතයක් …ඒ ජීවිතය මිනිසත්භාවය ලබන සියලු දෙනාට විශ්වයෙන් ලැබෙන තිලිනයක් කියලයි මං හිතන්නේ …නමුත් වර්තමාන සමාජයේ බහුතර පිරිසකගෙන් ජීවිතය කොහොමද කියලා ඇහුවොත් 95% ක උත්තරය නම්,
කතා කරල වැඩක් නැහැ ,
ජීවිතේ නම් දුක විතරමයි බං,
හරියන එකාට තමා හැමදාම හරියන්නේ .. අපට ඉතින් වරදින එකම තමයි වෙන්නේ…
මට නම් දැන් ජීවත් වෙන එකත් එපා වෙලා…
ඔන්න ඔය වගේ කතා තමයි බහුතරයකගේ උත්තරය වෙන්නේ…….
පොඩ්ඩක් හිතන්න ඔබ මේ මොහොතෙත් හිතනවා ඇති අනිත් අයට වගේ මටත් සල්ලි තිබ්බනම් කියලා,අරයට වගේ ලස්සන වාහනයක් මටත් තිබ්බනම් කියලා,අහවල් යාලුවා වගේ මටත් ලස්සන වෙන්න තිබ්බනම් කියලා,
මිනිසුන් පුරුදුවෙලා ඉන්නේ හැම දෙයක් ම සංසන්දනය කරලා ජීවත් වෙන්න ..අන්න එතන තමා අපි මුලින්ම වෙනස් කරගන්න ඕන තැන …
මේ ලෝකයේ පවතින්නේ මිනිසුන් අතර පවතින විවිධත්වය නිසා …හැම කෙනෙක් ම මිනිසා කියන කුලකයට අයිති උනාට එකිනෙකාගේ රූප ස්වභාවය එකිනෙකාට වෙනස් ,එකිනෙකාගේ හැකියාවන් වෙනස් ,එකිනෙකාගේ දක්ශතා වෙනස්,අදහස් වෙනස්,කෙටියෙන් ම කීවොත් මේ ලෝකයේ එක වගේ අය ඉන්නේ එක්කෙනයි….ඔයා වගේ වෙන අය මේ ලෝකයේ නැහැ ….ජීව විද්‍යාත්මක ව ජාන තාක්ෂණය මගින් ම ඒක ඔප්පු කරලා තියෙනවා …ඒ නිසා කවදාවත් ඔයා තව කෙනෙක් එක්ක ඔයාව සංසන්දනය කරලා තමන්ව අවතක්සේරුවට ලක් කරන්න එපා….මොකද මේ ලෝකයේ ඔයාට ඔයා තරම් වෙන කිසිම කෙනෙක් ආදරය කරන්නේ ගෞරවය කරන්නේ නැහැ …ඒ නිසා මුලින්ම ඔයා ඔයාට ආදරය කරන්න ……ගෞරව කරන්න ……..
ඊට පස්සෙ අපි වෙනස් කරගන්න ඕන අපේ සිතිවිලි ධනාත්මක විදියට….
නිකමට එක සතියක් එක මාසයක් මේ විදියට හිතලා බලන්න …එතකොට ඔයාලට තේරුම් යයි මනසෙන් උපදින සිතිවිලි වලට කොයි තරම් ලොකු විශ්ව ශක්තියක් තියෙනවා ද කියලා …..
අපි කාටත් ජීවිතයේ ප්‍රශ්න තියෙනවා ,වේදනාකාරි මතකයන් තියෙනවා ,හිත් රිදවීම් වෙලා තියෙනවා …ඒක ඔයාට මට විතරක් නෙමෙයි මේ මුලු විශ්වයටම පොදුයි …ඒනිසා ප්‍රශ්නයක් උනාම මටම තමා මේ හැමදේම කියලා දුක් වෙවී ඉන්න එපා…ඔයා දුක්බර දේවල් වේදනාකාරි දේවල් හිතන වාරයක් ගානේ ඔයාගේ සිතිවිලි වල තියෙන්නේ negative දේවල් ..ඔයාගේ මනස හිතන්නේ ඔයා කැමති ඒ දේවල් වලට කියලා …එහෙම උනාම ඒ මනස පුරුදු වෙනවා විශ්වයෙන් දුක ආකර්ෂණය කරලා ඒක ඔයාට දෙන්න …මොකද මනස කරන්නේ අපි ආකර්ෂණය කරන දේවල් අපට ලංකරලා දෙන එක….ඒ නිසා හැම මොහොතක ම ධනාත්මක ව හිතන්න…කාවවත් එක්ක සංසන්දනය කර කර දුක් වෙන්න එපා….ඔයා සතුටු වෙන්න ඔයා අද ඉන්න තැන කොතන උනත් ….මනස පුරුදු කරන්න ඔයාට නොලැබුණු දේ පිලිබදව නොහිතා ලැබුණු දේට ස්තූති වන්ත වෙන්න……ඒ වගේම අද ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕන දේවල් ඔයාගේ සිතට ආකර්ෂණය කරගන්න සිතිවිලි වලින් …..ධනාත්මක සිතිවිලි පමනක්ම ඉතිරි කරන්න මනස තුල….එවිට ඔබට ඔබේ අරමුණට ලගාවෙන්නට අවශ්‍ය විශ්ව ශක්තිය ඔබේ මනසින් උපදින සිතිවිලි වලින් ම අනිවාර්යයෙන්ම ලබා දේවි………
සෑමවිටම ධනාත්මක ව සිතන්න …
ඔබ ඔබම වන්න….
අවසානය දක්වාම සතුටින් ජීවත් වන්න………
හොදින් මතක තියාගන්න ….ඔබේ මනස ධනාත්මක සිතිවිලි වලින් පුරවා ගත්තොත්,
කළ නොහැක්කක් නොමැත……
Nothing is impossible…
ඔබ සම්බන්ධ වෙලා ඉන්නෙ CharityShop පාඨමාලාවට නම් Impossible කියලා දෙයක් නෑ. මොකද මොන්ටිසෝරි ළමයගේ ඉඳන් අපි දැනුමෙන් සන්නද්ධ කරනවා…. සම්බන්ධ වෙලා නැතිනම් අදම සම්බන්ධ වෙන්න…
Charityshop Team
සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/553432699625844/